Last Update  :  2025-05-08 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ක්‍රීඩාංගණය කුඩා නිසා හඹායෑම පහසු වුණා
ආසියානු කුසලාන

ක්‍රීඩාංගණය කුඩා නිසා හඹායෑම පහසු වුණා

editorial - 2022 සැප් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද සාජා සිට..)

සාජා ක්‍රීඩාංගණය ඩුබායි ක්‍රීඩාංගණයට වඩා ප්‍රමාණයෙන් කුඩා වීමත්, හතරේ සීමාවට ඇති දුර අඩුවීමත් ඇෆ්ඝනිස්ථානයට එරෙහිව ලකුණු 175 ක් හඹා යෑමේදී තම කණ්ඩායමට අමතර වාසියක් වූ බව ශ්‍රී ලංකා කණ්ඩායමේ පිට දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ පැවසීය. එදා මෙදා තුර ඉතිහාසයේ සාජා ක්‍රීඩාංගණයේ පැවැති විස්සයි-20 තරගයකදී කණ්ඩායමක් හඹ‍ාගොස් ලබාගත් ඉහළම ජයග්‍රහණයට හිමිකම් කීමට ශ්‍රී ලංකාව සමත් වීමෙන් පසුව ඔහු ඒ බව කියා සිටියේය.

“ගිය පාර ලෝක කුසලාන තරගාවලියෙදිත් අපි බංග්ලාදේශයට එරෙහිව ලකුණු 172 ක් හඹාගෙන ගිහින් ජයගත්තා. හතරේ සීමාව ලඟ නිසා මේ ක්‍රීඩාංගණයේ හඹායන්න තරමක් ලේසියි. ඒත් තණතිරුවේ වැඩි ඉපිලීමක් නැති නිසා හයේ පහරවල් ගහන්න තරමක් අමාරුයි. ලොකු ලකුණු සංඛ්‍යාවක් හඹා යද්දි හයේ පහරවල් නොගහ බැහැ. ඒ නිසා තමයි අපේ පිතිකරුවන් අවදානමක් අරන් හයේ ඒවා ගැහුවේ.” යැයිද ඔහු පැවසීය.

මුජිබුර් රහමාන්ගේ පන්දුවට ගැසූ හයේ පහරකින් සිය ප්‍රහාරය ආරම්භ කළ කුසල් මෙන්ඩිස්, ශ්‍රී ලංකා ඉනිමේ අධිවේගී ඕවර 6 නිමා කළේ ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමේ ප්‍රධානම පන්දු යවන්නා වූ රෂීඩ් ඛාන්ගේ පන්දු දෙකක් හමුවේ පිට පිටම ගැසූ හයේ පහර 2 කිනි. ධනුෂ්ක ගුණතිලකද ඇෆ්ඝනිස්ථාන නායක මොහොමඩ් නබීට හයේ පහර 2 කින් සංග්‍රහ කළේය. එහිදී මුජිබුර්ගේ පන්දුවක් හමුවේ පැතුම් නිස්සංකද, නවීන් උල්හක්ගේ පන්දුවක් හමුවේ භානුක රාජපක්ෂද හයේ පහර බැගින් එල්ල කළහ.

“සාජා තණතීරුවේ පන්දු යවනකොට අපි නිවැරදි එල්ලයකට පන්දු යැව්වෙ නැත්නම්, එල්ලය පොඩ්ඩක් හරි මඟ හැරුණොත් පන්දුව අනිවාර්යෙන්ම හතරේ සීමාවට යනවා. ඒක නිසා තමයි එ‍්‍ගොල්ලන්ගේ (ඇෆ්ඝනිස්ථාන කණ්ඩායමේ) හ‍ොඳ පන්දු යවන්නන් ඉඳලත් අපිට ලකුණු 175 ක් හඹා යන්න පුළුවන් වු‍ණේ. මොකද දුරත් එක්ක බැලුවාම පේනවා පන්දුව හතරේ සීමාවට යන්න පොඩි අත්වැරැද්දක් වුණත් ඇති කියලා.” යැයිද තීක්ෂණ කියා සි‍ටියේය.

ආසියානු කුසලා තරගාවලියේදී මේ දක්වා පැවැති තරග 7 න් හොං කොං කණ්ඩායම ක්‍රීඩා කළ තරග දෙක හැරුණුකොට සෙසු තරග 5 ම ජයගැනීමට සමත්ව ඇත්තේ දෙවනුව පන්දුවට පහරදුන් කණ්ඩායම්ය. ඉන් අවස්ථා 4 කදීම කාසියේ වාසිය දිනූ කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළ ඔවුහු එම තරග ජයග්‍රහණය කළහ. එක් තරගයකදී පමණක් බංග්ල‍ාදේශ නායකයා කාසියේ වාසිය දිනා පළමු‍වෙන් පන්දුවට පහරදුන් අතර ඔවුන් එම තරගය පරාජයට පත් විය.

ඩුබායි ක්‍රීඩාංගණයට මෙන්ම සාජා ක්‍රීඩාංගණයටද මධ්‍යම රාත්‍රිය ලංවනවාත් සමග පින්න පතිත වීම වැඩිවන අයුරු දක්නට ලැබිණ. දිගින් දිගටම පින්න පතිත වීම හේතුවෙන් පන්දු යවන්නන් අතින් පන්දු‍වේ පාලනය ගිළිහී යන බව ශ්‍රී ලංකා - ඇෆ්ඝනිස්ථාන තරගයේදී හොඳින්ම දැකගත හැකි විය. පෙර තරගයේදී පළමුවෙන් පන්දු යැවූ ඇෆ්ඝනිස්තාන පන්දු ‍යවන්නන් හමුවේ ලකුණු 105 කට දැවී ගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ, මෙම තරගයේදී සෑම ඇෆ්ඝනිස්ථාන පන්දු යවන්නකුට එරෙහිව ලකුණු 30 ට වැඩියෙන් රැස්කිරීම ඊට කදිම නිදසුනක් විය.

කෙසේ වුවත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් තීක්ෂණ කියා සිටියේ කාසියේ වාසිය හෝ පින්න පතිත වීම තරගයේ ප්‍රතිඵලයට කිසිදු ආකාරයකින් බළපෑමක් නොකළ බවය. මෙම තරගයේදී ලැබූ ජයග්‍රහණය කණ්ඩායමේ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් බවත්, කාසියේ වාසිය ජය ගැනීම හෝ පළමුවෙන් පන්දු යැවීමට තීරණය කිරීම ජයග්‍රහණය සඳහා අත්‍යවශ්‍ය සාධකයන් නොවූ බවද ඔහුගේ මතය විය.

“කාසියේ වාසිය දිහා බැලුවාම පේනවා මුලින් පන්දු යවන අය තමයි මෙහෙ ක්‍රීඩාංගණවල වැඩියෙන් දිනලා තියෙන්නෙ. මුලින් පන්දුවට පහර දීලා තරගයක් දිනන්න නම් අඩුම තරමේ ලකුණු 180 ක් වත් ගහන්න ඕන. ඒත් මං හිතන්නේ නෑ ක්‍රීඩාංගණයේ පොඩ්ඩක් වත් පින්නක් තිබුණා කියලා. ඒගොල්ලන්ගෙ ‍පන්දු යවන්නන්ට අපේ අය හොඳට පහරදුන්න නිසා තමයි අපිට දිනන්න හම්බුණේ.” යැයිද ඒ සම්බන්ධයෙන් තීක්ෂණ සඳහන් කළේය.


අදහස් (0)

ක්‍රීඩාංගණය කුඩා නිසා හඹායෑම පහසු වුණා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.