Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කලම්බො ස්ටාර්ස් පිලට තියුණු ජයක්
එල්.පී.එල්. - 2022

කලම්බො ස්ටාර්ස් පිලට තියුණු ජයක්

editorial - 2022 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ පස්වැනි තරගය ලෙස කලම්බෝ ස්ටාර්ස් කණ්ඩායම සහ දඹුල්ල අවුරා කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (8 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 9 ක තියුණු ජයක් වාර්තා කිරීමට කලම්බො ස්ටාර්ස් කණ්ඩායම සමත් විය. මෙවර තරගාවලියේදී ස්ටාර්ස් කණ්ඩායම ලැබූ පළමු ජයද මෙය විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 166 ක ඉලක්කයක් හඹාගිය දඹුල්ල අවුරා කණ්ඩායමට ඕවර 20 අවසානයේ ලබාගත හැකි වූයේ ලකුණු 156 ක් පමණි. තරගය ජයගැනීම සඳහා අවුරා කණ්ඩායමට කරීම් ජානට් යැවූ අවසන් ඕවරයේදී ලකුණු 23 ක් අවශ්‍ය වූ නමුත් අවසන් ඕවරයේ පන්දු 6 ටම මුහුණදුන් නායක දසුන් ශානකට එහිදී හයේ පහර 2 ක් සමග ලබාගත හැකි වූයේ ලකුණු 13 ක් පමණි. 

පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 29 කදී ලකුණු 53 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූ ෂෙවෝන් ඩැනියෙල් (28) සහ ජෝඩාන් කොක්ස් (29) අවුරා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. කෙසේ වුවත් අළු ගසා දමා යළි තරගයට අවතීර්ණ වූ ස්ටාර්ස් වේග පන්දු යවන්නෝ කෙමෙන් කෙමෙන් තරගයේ පාලනය තම කණ්ඩායම වෙතට හරවා ගත්හ. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කලම්බො ස්ටාර්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 165 ක් ලබාගත්තේය. එහිදී දක්ෂ පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල පන්දු 41 කින් ලකුණු 62 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමගිනි. 

ලකුණු 26 කට කඩුලු 3 ක් බිඳ වැටී තිබූ අවස්ථාවේ රවී බොපාරා සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 47 කදී ලකුණු 53 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද දික්වැල්ල සමත් විය. පන්දු 25 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග ලකුණු 26 ක් ලබා සිටියදී බොපාරා දුවද්දී දැවී යෑමකට හසුවීමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය. 

ස්ටාර්ස් ඉනිම නිමවන තෙක්ම කඩුල්ලේ රැදී සිටි දිනේෂ් චන්දිමාල් පන්දු 23 කදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 29 ක් රැස්කළ අතර අවසන් ඕවර කිහිපයේදී වේගයෙන් ලකුණු රැස්කළ ඩොමිනික් ඩ්‍රේක්ස් පන්දු 12 කින් ලකුණු 18 ක් රැස්කළේද හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගිනි. 

ලංකා ප්‍රිිමියර් ලීග් තරග ඉතිහාසයේ සිය පෞද්ගලික හොඳම පන්දු යැවීම මෙම තරගයේදී ප්‍රදර්ශනය කළ ළහිරු කුමාර ලකුණු 36 කට කඩුලු 4 ක් බිඳහෙළීය. ස්ටාර්ස් ඉනිමේ පළමු ඕවරයේ පිට පිට පන්දු දෙකකදී නායක ඇන්ජලෝ මැතිව්ස් (4) සහ නවෝද් පරණවිතාන (0) පිටියෙන් ඉවත් කිරීමටද එහිදී ළහිරු සමත් විය. 

කලම්බො ස්ටාර්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 165 
(නිරෝෂන් දික්වැල්ල 62, රවී බොපාරා 26, දිනේෂ් චන්දිමාල් නොදැවී 29, ඩොමිනික් ඩ්‍රේකස් 18, ළහිරු කුමාර 36/4) 

දඹුල්ල අවුරා පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 156 
(ෂෙවෝන් ඩැනියෙල් 28, ජෝඩාන් කොක්ස් 29, භානුක රාජපක්ෂ 17, ටොම් ඇබෙල් 33, දසුන් ශානක නොදැවී 31, සුරංග ලක්මාල් 29/2, කරීම් ජානට් 30/2, ඩොමිනික් ඩ්‍රේක්ස් 35/2)


අදහස් (0)

කලම්බො ස්ටාර්ස් පිලට තියුණු ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.