Last Update  :  2024-04-28 13:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket කමින්ස් සහ සමාගම මුම්බායි මෙල්ල කරගනී
අයි.පී.එල්. - 2024

කමින්ස් සහ සමාගම මුම්බායි මෙල්ල කරගනී

editorial - 2024 මාර් මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එකම දිනයකදී ඉතිහාස පොත දෙවරක් ලිවීමේ අවස්ථාවක් තිබුණ නමුත් පැට් කමින්ස් ප්‍රමුඛ සන්රයිසස් පන්දු යවන්නෝ එය එක වතාවකට සීමාකරගත්හ. වසර 16 ක අයි.පී.එල්. ඉතිහාසයේදී කණ්ඩායමක් ලබාගත් වැඩිම ලකුණු සංඛ්‍යාව (277) හිමිකරගත් සන්රයිසස් හයිද්‍රාබාද් ක්‍රීඩකයෝ මුම්බායි ඉන්දියන්ස් පිතිකරුවන් හමුවේ කළ සෑහෙන උත්සාහයකින් පසුව එය ආරක්‍ෂා කරගත්හ. 

ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවර රජීව් ගාන්ධි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද පැවැති අයි.පී,එල්. තරගයේදී ලකුණු 278 ක ඉලක්කයක් කරා ගිය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඕවර 20 ක් නිමාවේදී ලකුණු 246 කින් නතර වන විටත් ඔවුන් අත කඩුලු 5 ක් ඉතිරි වී තිබිණ. තරගයෙන් සන්රයිසස් පිලට ලකුණු 31 ක ජයක් හිමිවිය.
 
අයි.පී.එල්. ඉතිහාසයේ වඩාත්ම දුරින් පිහිටි ඉලක්කය කරා යාමට මුම්බායි ඉන්දියන්ස් පිල ගත්තේ අභීත උත්සාහයකි. ප්‍රහාරාත්මක ඕවර 6 නිමාවන විට ලකුණු 76 ක් ලබාගත් මුම්බායි පිතිකරුවෝ ඕවර 10 ක් අවසන් වන විට කඩුලු 2 කට ලකුණු 141 ක් ලබාගත්තේ ජයග්‍රහණය කරා යාමට අවශ්‍ය වේගය මැනවින් රඳවා ගනිමිනි. තිලක් වර්මා සහ නමන් ධීර් තියුණු සටනක නිරත වුවද අවසන් ඕවර 4 දී ලකුණු ගලායාම පාලනය කරගත් සන්රයිසස් පන්දු යවන්නෝ තරගය ජයගත්හ. 

ට්‍රැවිස් හෙඞ් (62),  අභිෂේක් ෂර්මා (63) සහ හෙන්රික් ක්ලාසන් (80) තිදෙනා කළ ප්‍රචණ්ඩකාරී පිතිහරඹය නිසා අද (27 වැනිදා) පැවැත්වෙන අයි.පී.එල්. තරගයේදී මුම්බායි ඉන්දියන්ස් පිල හමුවේ ඕවර 20 කින් ලකුණු 277 ක් ලබාගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් ක්‍රීඩකයෝ සමත් වූහ. 

කාසියේ වාසිය දිනාගත් මුම්බායි ඉන්දියන්ස් නායක හර්දික් පාණ්ඩ්‍යා පළමුවෙන් පන්දු යැවීම තෝරා ගත් නමුත් මහත් ප්‍රචණ්ඩකාරී පිතිහරඹයට මුහුණ දීමට පාණ්ඩ්‍යාගේ පන්දු යවන්නනට සිදුවිය. දෙවැනි ඕවරයේ පළමු පන්දුවේදීම ට්‍රැවිස් හෙඞ්ගේ උඩපන්දුවක් ටිම් ඬේවිඞ් වෙතින් ගිළිහී ගියේය. එහෙත් ඊළඟ ඕවරයේදී ක්වේනා මපාකා විනාශ කළ ට්‍රැවිස් හෙඞ්, 17 හැවිරිදි දකුණු අප්‍රිකානු යෞවනයාගේ දෙවැනි ඕවරයට සංග්‍රහ කළේ 1, 1, 6, 6, 4 සහ 4 ක් ලෙසිනි. එම ඕවරයෙන් ලකුණු 21 ක් ලබාගත් ට්‍රැවිස් හෙඞ් 3 වැනි ඕවරය නිමාවේදී සන්රයිසස් ලකුණු සංඛ්‍යාව 40 ක් දක්වා ඉහළ දැමීය. 

මයන්ක් අගර්වාල්ගේ දැවී යාමෙන් පසුව පැමිණි අභිෂේක් ශර්මා ඕස්ටේ්‍රලියානුවාට නොදෙවනි ප්‍රහාරයක නිරත විය. පන්දු 18 කින් සිය අර්ධ ශතකය ලබාගත් ට්‍රැවිස් හතරේ පහර 9 ක් සහ හයේ පහර 3 ක් ගැසීමෙන් පසු දැවී යන විටත් අභිෂේක් ෂර්මා පන්දු 11 කින් ලකුණු 32 ක් ලබා සිටියේය. මුලු ලකුණු සංඛ්‍යාව ඕවර 8 කදී කඩුලු 2 කට 117 ක් විය. 

දකුණු අප්‍රිකානු ජාතික ක්වේනා මපාකා මවිතයට පත්කළ අභිෂේක් පන්දු 23 කින් ලකුණු 63 ක් ලබාගත්තේ මපාකා යැවූ ඕවර 3 ක් අවසානයේ වේග පන්දු යවන්නාගේ නමට ඉදිරියෙන් ලකුණු 48 ක් සටහන් කරමිනි. 

හෙඞ් සහ ෂර්මා දවාගත් මුම්බායි ඉන්දියන්ස් පන්දු යවන්නන්ට සැනසුම් සුසුමක් හෙළීමට අවසර නොලැබිණ. ඒඞ්න් මාක්රම් සහ හෙන්රික් ක්ලාසන් දෙදෙනා එක්ව පන්දු 62 කින් ලකුණු 122 ක් ලබාගත්තේ හතරේ පහර 8 කින් සහ හයේ පහර 8 කින් මුම්බායි පන්දු යවන්නන් තලපෙළා දමමිනි. 


සන්රයිසස් හයිද්‍රාබාද් - ඕවර 20 කදී කඩුලු 3 ට 277 යි
(මයන්ක් අගර්වාල් 11, ට්‍රැවිස් හෙඞ් 62, අභිෂේක් ශර්මා 63, ඒඞ්න් මාක්රම් නොදැවී 42, හෙන්රික් ක්ලාසන් නොදැවී 80)

මුම්බායි ඉන්දියන්ස් - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 246 යි
(රෝහිත් ෂර්මා 26, ඉෂාන් කිෂන් 34, නමන් ධීර් 30, තිලක් වර්මා 64, හර්දික් පාණ්ඩ්‍යා 24, ටිම් ඬේවිඞ් නොදැවී 42, රොමාරියෝ ෂෙපර්ඞ් නොදැවී 15, ජයදේව් උනද්කාත් 47/2, පැට් කමින්ස් 35/2) 

 - 213


අදහස් (0)

කමින්ස් සහ සමාගම මුම්බායි මෙල්ල කරගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.