Last Update  :  2025-07-20 19:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඕස්ට්‍රේලියාවෙන් වෙනස්ම සැලැස්මක්
වෝන් - මුරලි කුසලාන

ඕස්ට්‍රේලියාවෙන් වෙනස්ම සැලැස්මක්

editorial - 2022 ජුනි මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල ක්‍රීඩාංගණයේ සිට..)

ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් පන්දු යවන්නන් දෙදෙනාගේ නමින් වෙන්වුණු කුසලානය හෙවත් “වෝන්- මුරලි”කුසලානයේ වත්මන් හිමිකරුවන් වන්නේ ඕස්ට්‍රේලියාවයි. එහෙත් වසර දෙක හමාරකට ඉහතදි ඕස්ට්‍රේලියානුවන් දිනාගත් කුසලානය දිහා ශ්‍රී ලංකාවත් බලා සිටින්නේ ඇසිපිය නොහෙළන දෑසිනි. 

ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී හෙට (29 වැනිදා) ආරම්භ වන ශ්‍රී ලංකා - ඕස්ට්‍රේලියානු පළමු ටෙස්ට් තරගය හෙවත් 2022 “වෝන් - මුරලි කුසලාන” තරගාවලියේ පළමු වැන්න දඟ පන්දු යවන්නන්ගේ සටනක් වීමේ පෙරනිමිති දැනටමත් පළවී තිබේ. දෙපිලම කතා බහ කරන්නේ තම තමන්ගේ සැලසුම් අනුව තරග කිරීම ගැනය. 

ශ්‍රී ලංකා කණ්ඩායමට දඟ පන්දු යවන්නන් තිදෙනකු සහ වේග පන්දු යවන්නන් දෙදෙනකු ඇතුළත් වන බවක් නායක දිමුත් කරුණාරත්න මුලින් කී නමුත් පසුව ඔහු එය වෙනස් කළේය. ඉතාමත් විශ්වාසවන්ත ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත්තේ ශ්‍රී ලංකාව පිතිකරුවන් 7 දෙනකු සහ පන්දු යවන්නන් 4 දෙනකු සමගින් පිටියට පිවිසෙන බවකි. කසුන් රාජිත, එකම වේග පන්දු යවන්නා වීමට බොහෝ සෙයින් ඉඩ තිබේ. 

වමත් දඟ පන්දු යවන්නන් වන ලසිත් ඇඹුල්දෙණිය සහ ප්‍රවීන් ජයවික්‍රම දෙදෙනාගෙන් අයකු සමග පිට දඟ පන්දු යවන්නා වන රමේෂ් මෙන්ඩිස් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයෝ දෙදෙනෙකි. ඕවර 6 ක් හෝ 8 ක් යැවීමට වේග පන්දු යවන්නකු අවශ්‍ය නොවන හෙයින්ද, දඟ පන්දු යවන්නන් අතරේ විවිධත්වය අවශ්‍ය වන හෙයින්ද තුන්වැනි දඟ පන්දු යවන්නාගේ ස්ථානය ජෙෆ්රි වැන්ඩසේට හිමිවීමට බොහෝ කරුණු පසුබිම් වී තිබේ. වැන්ඩසේ එක්දින තරගාවලියේදීත් සාර්ථක පන්දු යැවීමක නිරත විය. 

ශ්‍රී ලංකා පිතිකරුවන් ආපසු දෝලනය වන පන්දුවට මුහුණ දෙන ආකාරය අනුව මෙම තරගාවලියේ තීරණය වෙනස්වනු ඇත. නායක පැට් කමින්ස් මෙන්ම වමත් වේග පන්දු යවන්නා වන මිචෙල් ස්ටාක් ද කජු කන්නා සේ පන්දුව ආපසු දෝලනය කරන්නෝ වෙති. 

කොහොමටත් වමතින් වේග පන්දු යවන්නෝ කවදත් ශ්‍රී ලංකා පිතිකරුවන්ට කරදර කරති. ඕස්ට්‍රේලියානුවන් අවසන් වරට ගාල්ලේදී සහභාගි වූ ටෙස්ට් තරගයේදී මිචෙල් ස්ටාක් ඉනිම දෙකේදීම කඩුලු 11 ක් දවාගත්තේය. මේ සම්බන්ධයෙන් දිමුත් කරුණාරත්න සිය අවධානය යොමුකර තිබේ. 

“මෙතැන තියෙන සුළඟ (ගාලු කොටුවේ දෙපැත්තෙන්, මුහුද දෙසින් හමා එන සුළඟ) නිසා ආපසු දෝලනය කියන එක තීරණාත්මක සාධකයක් වේවි. පසුගිය තරගාවලියේදීත් ස්ටාක් කඩුලු 15 ක් විතර ලබාගත්තා. ඒ හින්දා අපි පුහුණු දැළ තුළදී ආපසු දෝලනය වන පන්දුවලට මුහුණ දීමට විශේෂයෙන් පුහුණු වුණා” යයි දිමුත් කරුණාරත්න අද පස්වරුවේදී මාධ්‍ය නියෝජිතයන් හා කීවේය. 

“අපි දඟ පන්දු යවන්නන් එක්ක ගනුදෙණුව බේරගත්තා වුණත්, මිචෙල් ස්ටාක් සහ පැට් කමින්ස් දෙදෙනාව පරෙස්සමෙන් හසුරුවාගන්න වෙනවා. මේ දෙන්නාගේ ආපසු දෝලනයට මුහුණ දෙන්න කොල්ලො ටික සූදානමින් ඉන්නේ” යයිද දිමුත් කරුණාරත්න පැවසීය. 

බංග්ලාදේශය හා පැවැති ටෙස්ට් තරගාවලිය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම, ඕස්ට්‍රේලියානුවන් හමුවේ එක්දින තරගාවලියත් ජයගැනීම, ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ මානසික ස්ථාවරය ශක්තිමත් කරන්නකි. 

වෝන් - මුරලිදරන් කුසලාන වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගාවලිය අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ ටෙස්ට් ලෝක ශූරතාවලියටත් ඇතුළත් වන තරගාවලියකි. එම ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහන අනුව, මේ වන විට 4 වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායම (ජයග්‍රහණ ප්‍රතිශතය 55.56%), 2021-2023 කාර්තුවේදී මෙතෙක් සහභාගි වූ තරගාවලි තුනෙන් දෙකක් ජයගෙන තිබේ.  

මේ වන විටත් ක්‍රිකට් ලෝකය පුරා පවතින මතය වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම නින්දෙන් ඇහැරී සිටින බවකි. 
ඕස්ට්‍රේලියානු නායකයාගේ සූදානම වෙනස්ම ආකාරයකින් තරගාවලියට අවතීරණ වීමයි. 

“මේ වගේ තණතීරුවල ශ්‍රී ලංකා කි්‍රීඩකයන් ඉතාමත් හොඳින් ක්‍රීඩා කරනවා. ඒක අපි ඕස්ට්‍රේලියාවේදී මුහුණ දෙන තත්ත්වයන්ට වඩා හාත්පසින්ම වෙනස්.... ඒත් ඒක තමයි, විදේශීය රටකදී ජයගැනීමේ අභියෝගය කියන්නේ...” යයි කී ඕස්ටේ්‍රලියානු නායක පැට් කමින්ස්.. 

“කෙහොම වුණත්, (මේ තරගාවලිය වෙනුවෙන්) අපේ සූදානම වුණේ අපේ ක්‍රමවේදය ගැන විශ්වාසය තබමින්. ඒ නිසා ශ්‍රී ලංකාව බලාපොරොත්තු වෙනවාට වඩා වෙනස් විදිහකට අපි තරගයට අවතීර්ණ වේවි... ඒ කෙහොම වුණත්, ඔවුන් (ශ්‍රී ලංකා කණ්ඩයම) අපිට එල්ල කරන අභියෝගයට මුහුණ දෙන්න අපි සූදානම්” යයි ඕස්ටේ්‍රලියානු නායක පැට් කමින්ස් අද (28 වැනිදා) පස්වරුවේදී ගාල්ලේදී පැවැති පුවත් පත් සාකච්ඡාවේදී කීවේය. 

නායක පැට් කමින්ස්, ටෙස්ට් පන්දු යවන්නන් අතර ලෝකයේ අංක 1 හිමි ක්‍රීඩකයාය. එක්දින තරගාවලියේදී විවේක ගන්වා සිටි මිචෙල් ස්ටාක් සුවය ලබා සිටින නමුත් ඕස්ට්‍රේලියානු නායකයා ස්ටාක් ගැන කතාකළේ අඩුවෙනි. 

පැට් කමින්ස්ගේ දිවග රැඳුණේ නම් දෙකකි. ඒ නේතන් ලයන් සහ මිචෙල් ස්වෙප්සන් දෙදෙනාය. එහෙත් ටෙස්ට් පන්දු යවන්නන් අතරේ 12 වැනි ස්ථානයේ සිටින මිචෙල් ස්ටාක් පිළිබඳ පැහැදිළි අදහසක් ඕස්ට්‍රේලියානු නායකයාට තිබේ. 

“මේ තරගාවලියේදී අපේ වේග පන්දු යවන්නන්ගේ භූමිකාව තරමක් වෙනස් අකාරයේ වේවි. ඉදිරියට යන්න නම් නිර්මාශීලී විකල්ප හොයාගන්නම වෙනවා...”

“සමහර විට වැඩිපුර බවුන්සර් පන්දු, නැත්නම් වෙනස්ම ආකරයේ පන්දු රකින්නන් රැඳවීම් වෙන්නත් පුළුවන්...ඒත් අපි ස්වේපෝ (මිචෙල් ස්වෙප්සන්) හා ලයිනෝ (නේතන් ලයන්) දෙන්නාව යොදාගන්නේ ආක්‍රමණයටයි. ඒ හින්දා මේක නියම විනෝදයක් වේවි” යයි ඕස්ටේ්‍රලියානු නායකයා අද පස්වරුවේදී කීවේය. 

පැට් කමින්ස් කී දේ සැලකිල්ලට ගනිමින්, ඔහු නොකී දේ ගැන සිතන්නට බොහෝ කරුණු කාරණා තිබේ. විශේෂයෙන්ම “වේග පන්දු යවන්නන්ගේ භූමිකාව තරමක් වෙනස් වේවි” යන්නෙන් ඔහු අදහස් කළේ බවුන්සර් පන්දු වරුසාවක්ද? 

එසේත් නැතහොත් ‘ස්වීප්’ පහර හෝ ‘රිවර්ස් ස්වීප්’ පහර නොවේ නම් මේ දෙකටම නැති අලුත්ම අලුත් ‘වකුටු ස්වීප්’ ස්වීප් පහර වැලක් ඕස්ටේ්‍රලියානු පිතිකරුවන්ගෙන් බලාපොරොත්තු විය හැකිද? අද පැවැති පුහුණුවීම් වලදී, ඕස්ටේ්‍රලියානු පිලේ ප්‍රබලතම පිතිකරුවා වන ස්ටීවන් ස්මිත් ‘වකුටු ස්වීප්’ පහර වැඩි වැඩියෙන් පුහුණුවන ආකාරයක්ද දැකගත හැකි විය. 

ශ්‍රී ලංකා පිතිකරුවන් හමුවේ වේග පන්දුවේ සැර වැඩි කිරීමෙන් ගතහැකි ප්‍රයෝජනය මොනවාද යන්න ඕස්ට්‍රේලියානුවෝත්, දකුණු අප්‍රිකානුවෝත් මැනවින් දනිති. අනෙක් අතට ගාල්ල ක්‍රීඩාංගණයේදී මෙන්ම ශ්‍රී ලංකාවේ පවතින, ඩේවිඩ් වෝනර්ගේ වචන වලින්ම කියන්නේ නම්, දූවිලි බඳුන් වැනි වූ තණතීරුවලදී, දඟ පන්දු යවන හැටිත් ඔව්හු දනිති. 

2004 ඕස්ට්‍රේලියානු පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩයම සතුව මුත්තයියා මුරලිදරන් සිටි නමුත් තරගාවලිය 3-0 කින් ජයගත්තේ ඕස්ට්‍රේලියාවයි. එදා, කඩුලු 28 ක් දවාගනිමින්, තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වූයේ මුරලිදරන්ය. එහෙත් දෙවැන්නා වූයේ කඩුලු 26 ක් දවාගත් ෂේන් වෝන්ය. 

මෙම කරුණු මත නේතන් ලයන් හෝ මිචෙල් ස්වෙප්සන් දෙදෙනා අවතක්සේරු කිරීම අනුවණ කමකි. අනෙක් අතට තරග දෙකම පැවැත්වෙන්නේ දඟ පන්දු යවන්නන්ට වාසි දායක ගාල්ලේ යයි කියමින් පැට් කමින්ස් හෝ මිචෙල් ස්ටාක් දෙදෙනා නොසලකා හැරීමත් තකතීරුකමකි. 

හෙට තරගය ආරම්භ කිරීමට පෙර, අභාවප්‍රාප්ත ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ෂේන් වෝන් අනුස්මරණය කිරීම සඳහා විශේෂ උත්සවයක් පැවැත්වේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කමිටු සාමාජිකයන් මෙන්ම ඕස්ටේ්‍රලියානු ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී නික් හොක්ලි මහතා ද මෙම අවස්ථාවට සහභාගි වීමට නියමිතය. 

ශ්‍රී ලංකා සංචිතය 
දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, ඕෂධ ප්‍රනාන්දු, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, ලසිත් ඇඹුල්දෙණිය, ජෙෆ්රි වැන්ඩසේ, රමේෂ් මෙන්ඩිස්, කසුන් රාජිත, නිරෝෂන් දික්වැල්ල, විශ්ව ප්‍රනාන්දු, අසිත ප්‍රනාන්දු, ප්‍රවීන් ජයවික්‍රම, චාමික කරුණරත්න, ඩිල්ෂාන් මධුශංක, කමිඳු මෙන්ඩිස්, 

ඕස්ට්‍රේලියානු සංචිතය
ඩේවිඩ් වෝනර්, උස්මන් කවාජා, මානස් ලැබුෂේන්, ස්ටීවන් ස්මිත්, කැමරන් ග්‍රීන්, ඇලෙක්ස් කේරි, ග්ලෙන් මැක්ස්වෙල්, මිචෙල් ස්වෙප්සන්, පැට් කමින්ස් (නායක), නේතන් ලයන්, මිචෙල් ස්ටාක්, ඇෂ්ටන් ආගර්, ස්කොට් බෝලන්ඩ්, ජොස් හේසල්වුඩ්, ට්‍රැවිස් හෙඩ්, ජොෂ් ඉංග්ලිෂ්, මිචෙල් මාෂ්, 

නායක දිමුත් කරුණාරත්න සහ පැට් කමින්ස් දෙදෙනා වෝන් - මුරලි කුසලාන අතැතිව
ඡයාරූපය - ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙනි.

 


අදහස් (0)

ඕස්ට්‍රේලියාවෙන් වෙනස්ම සැලැස්මක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.