Last Update  :  2025-07-20 19:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තයට ඓතිහාසික ජයක්
එජ්බැස්ටන් ටෙස්ට් තරගය

එංගලන්තයට ඓතිහාසික ජයක්

editorial - 2022 ජුලි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පිට පිටම සිව්වැනි වතාවටත් අලංකාර හඹායාමක නිරත වූ එංගලන්ත පිතිකරුවෝ එජ්බැස්ටන්හිදී අද (05 වැනිදා) නිමාවූ පස්වැනි සහ අවසන් ටෙස්ට් තරගයේදී කඩුලු 7 ක විශිෂ්ට ජයක් ලබාගනිමින් 2-2 ක් ලෙසින් තරගාවලිය සම කළහ. ලකුණු 378 ක ඉලක්කයක් කරා ගිය එංගලන්ත පිල වෙනුවෙන් අති විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ජෝ රූට් (නොදැවී 142) සහ ජොනී බෙයාර්ස්ටෝ (නොදැවී 114) දෙදෙනා, සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 269 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනඟමින් එංගලන්ත කණ්ඩායම ඓතිහාසික ජයක් කරා කැඳවාගෙන ගියහ. 

මෙම ශතකය ජෝ රූට්ගේ 28 වැනි ටෙස්ට් ශතකයයි. ජොනී බෙයාර්ස්ටෝ මෙම තරගයේදී ලද දෙවැනි ශතකයයි. 

පසුගිය වසරේ ජූලි මාසයේදී ආරම්භ වූ එංගලන්ත - ඉන්දියා තරගාවලියේ පළමු තරග 4 නිමාවන විට තරග 2-1 ක් ලෙසින් ඉන්දියානුවෝ පෙරමුණ ගෙන සිටියහ. එහෙත් සිව්වැනි තරගය ආරම්භවීමට පෙර ඉන්දීය කණ්ඩායමේ ක්‍රීඩකයන් කිහිප දෙනකුට කොරෝනා වයිරසය අසාදනය වීම හේතුවෙන් පස්වැනි තරගය වසරකින් කල් දමන ලදි. 

එජ්බැස්ටන් පිටියේදී ලකුණු 378 ක ඉලක්කයක් කරා යාමට, ඇලෙක්ස් ලීස් (56) සහ සැක් ක්‍රෝලි (46) දෙදෙනාගෙන් එංගලන්තයට ශක්තිමත් ආරම්භයක් ලැබිණ. මෙම පිතිකරුවෝ දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 107 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ නමුත් ලකුණු 02 ක් ඇතුළත කඩුලු 3 ක් බිඳ වැටීමෙන් ඉන්දියානුවෝ නැවතත් තරගයට අවතීර්ණ වූහ. එහෙත් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ ජෝ රූට් සහ ජොනී බෙයාර්ස්ටෝ දෙදෙනා තරගය තමන් වෙත හරවා ගත්හ. 

පළමු ඉනිමේදීත් ශතකයක් ලබාගත් ජොනී බෙයාර්ස්ටෝ ලකුණු 14 ක් ලබා සිටියදී දුන් උඩපන්දුවක් ස්ලිප්හි සිටි ක්‍රීඩකයා වෙතින් ගිළිහී ගියේය. එහි ප්‍රතිඵලය වූයේ එංගලන්ත කණ්ඩායම සිය වසර 145 ක ටෙස්ට් ඉතිහාසයේ සාර්ථකම ඉලක්කගත ගමන වාර්තා කිරීමයි. 

මීට පෙර එංගලන්තයේ සාර්ථකම හඹායාම වූයේ 2019 දී පැවැති අළු බඳුන තරගයකදී ලකුණු 359 ක ඉලක්කයක් කරා සාර්ථකව යමින් තරගය ජයගැනීමයි. 

එංගලන්ත කණ්ඩායම තරගය ජයගත්තේ මුල් ඉනිමේදී ලකුණු 132 ක අවාසියකට මුහුණ දීමෙන් පසුවය. දෙවැනි ඉනිමේදී සිය ආක්‍රමණය නොනවත්වා පවත්වාගත් රූට් සහ බෙයාර්ස්ටෝ ඉන්දීය පන්දු යවන්නන් තඹයකට මායිම් නොකරමින් එජ්බැස්ටන් පිටිය පුරා සිය අණසක පැතිරවූහ. වේග පන්දු යවන්නකු වන නමුත් ශර්දුල් ඨාකූර්ට ජෝ රූට් පහර දුන්නේ දඟ පන්දු යවන්නකු ලෙස සලකමිනි. වරෙක ශර්දුල් ඨාකූර් හමුවේ තම සීමාවෙන් ඉවත පැමිණි ජෝ රූට් ගැසූ රිවර්ස් ස්වීප් පහරකින් පන්දුව හතරේ සීමාවට ඉහළින් ඉගිළී නරඹන්නන් අතරට ගියේය. 

ජොනී බෙයාර්ස්ටෝ ටෙස්ට් ඉනිම 5 කදී සිව්වැනි ශතකයත් සම්පූර්ණ කිරීමෙන් පසුව මොහොමඩ් සිරාජ්ට පිට පිටම හතරේ පහර තුනකින් සංග්‍රහ කළේය. 

ඉන්දියාව - පළමු ඉනිම 416 යි

එංගලන්තය - පළමු ඉනිම 284 යි

ඉන්දියාව - දෙවැනි ඉනිම 254 යි
(චෙටේස්වාර් පුජාරා 66, හනුමා විහාරි 11, විරාට් කෝලි 20, රිෂාබ් පාන්ට් 57, ශ්‍රෙයාස් අයියර් 19, රවීන්ද්‍ර ජදේජා 23, මොහොමඩ් ශාමි 13, ස්ටුවර්ට් බ්‍රෝඩ් 58/2, මැතිව් පොට්ස් 50/2, බෙන් ස්ටෝක්ස් 33/4)

එංගලන්තය - දෙවැනි ඉනිම කඩුලු 3 ක් දැවී 378 යි
(ඇලෙක්ස් ලීස් නොදැවී 56, සැක් ක්‍රෝලි 46, ජෝ රූට් නොදැවී 142, ජොනී බෙයාර්ස්ටෝ නොදැවී 114, ජස්ප්‍රීට් බුම්රා 74/2)

-213


අදහස් (0)

එංගලන්තයට ඓතිහාසික ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.