
පාකිස්තානයට එරෙහිව ලීඩ්ස්හිදී ඊයේ (19 වැනිදා) පැවැති එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 54 ක ජයක් අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග දෙරට අතර පැවැති තරග 5 කින් සමන්විත එක්දින තරගාවලිය 4-0 ක් ලෙස ජයගැනීමටද එංගලන්ත ක්‍රීඩකයෝ සමත් වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 352 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායමට ක්‍රිස් වෝක්ස් ප්‍රමුඛ එංගලන්ත පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 297 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ වෝක්ස් ලකුණු 54 කට කඩුලු 5 ක් දවාගත්තේ නිලකුණු ඕවර 2 ක්ද යවමිනි. එම කඩුලු 5 න් මුල් කඩුලු 3 දවාගැනීමේදී ප්‍රතිවාදීන්ට එක් ලකුණක් හෝ ලබා නොදීමට වෝක්ස් සමත් වීමද කැපී පෙනෙන සිදුවීමක් විය.
පාකිස්තාන ඉනිමේ මුල් කඩුලු 3 ලකුණු 6 ක් තුළ බිඳවැටුණද, සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 140 කදී ලකුණු 146 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට බාබර් අසාම් (80) සහ නායක සර්ෆරාස් අහමඩ් (97) සමත් වූහ. කෙසේ වුවත් ශතකය පෙනි පෙනී තිබියදී දුවද්දී දැවීයෑම් වලට හසුවීම නිසා ඔවුන්ට සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑමට නොහැකි වූහ.
පන්දු 80 කට මුහුණදුන් අහමඩ්, හයේ පහර 2 කින් සහ හතරේ පහර 7 කින් සිය අර්ධ ශතකය සැරසූ අතර පන්දු 83 කදී වාර්තා වූ අසාම්ගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 9 කින් සමන්විත විය. ඉමාඩ් වසීම් හතරේ පහර 3 ක් සමග ලකුණු 25 ක්ද, මොහොමඩ් හස්නයින් හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 28 ක්ද රැස්කළ නමුත් පාකිස්තාන කණාඩයම පරාජයෙන් ගළවා ගැනීමට ඔවුහු අපොහොසත් වූහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය ඕවර 50 ක් අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 351 ක් රැස්කිරීමට සමත් විය. ඒ අනුව අවුරුදු 48 ක එක්දින ක්‍රිකට් ඉතිහාසයේ පිට පිට තරග 4 කදී ලකුණු 340 සීමාව පසුකළ පළමු කණ්ඩායම බවට පත්වීමටද එංගලන්තයට හැකිවිය.
එංගලන්ත කණ්ඩායමට වේගවත් ආරම්භයක් ලබා දුන් ජේම්ස් වින්ස් (33) සහ ජොනී බෙයාස්ට්‍රෝ (32) පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 45 කදී ලකුණු 63 ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. පන්දු 32 කදී වාර්තා වූ වින්ස්ගේ ඉනිමට හතරේ පහර 7 ක් ඇතුළත් වූ අතර පන්දු 21 කදී වාර්තා වූ බෙයාස්ට්‍රොගේ ඉනිමට හතරේ පහර 6 ක් අන්තර්ගත විය.
දක්ෂ පිතිහරඹයක නිරත වූ ජෝ රූට් පන්දු 73 කදී හතරේ පහර 9 ක් සමගින් වේගවත් ලකුණු 84 රැස්කළ අතර නායක ඔයින් මෝගන් සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 109 කදී ලකුණු 117 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. පන්දු 64 කදී වාර්තා වූ මෝගන්ගේ වේගවත් අර්ධ ශතකය හයේ පහර 5 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත විය.
ජොස් බට්ලර් පන්දු 34 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක්ද සමග ලකුණු 34 ක්ද, ටොම් කරන් පන්දු 15 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 29 ක්ද රැස්කරමින් එංගලන්ත කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 350 සීමාවෙන් ඔබ්බට ගෙන යෑමට දායක වූහ.
පාකිස්තාන කණ්ඩායමේ සාර්ථකම පන්දු යවන්නා බවට පත්වූ ශහීන් අෆ්රිඩි කඩුලු 4 ක් දවාගැනීමට සමත් වූයේ සිය ඕවර 10 තුළදී ප්‍රතිවාදීන්ට ලකුණු 82 ක් ලබා දෙමිනි. ඔහුට අනගි සහායක් දුන් ඉමාඞ් වසීම් ලකුණු 53 කට කඩුලු 3 ක් බිඳහෙළීය.
එංගලන්තය - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 351
(ජේම්ස් වින්ස් 33, ජොනී බෙයාස්ට්‍රෝ 32, ජෝ රූට් 84, ඔයින් මෝගන් 76, ජොස් බට්ලර් 34, බෙන් ස්ටෝක්ස් 21, ඬේවිඞ් විලී 14, ටොම් කරන් නොදැවී 29, ශහීන් අෆ්රිඩි 82/4, ඉමාඞ් වසීම් 53/3)
පාකිස්තානය - ඕවර 46.5 කදී සියලු දෙනා දැවී 297
(බාබර් අසාම් 80, සර්ෆරාස් අහමඩ් 97, අසීෆ් අලී 22, ඉමාඩ් වසීම් 25, ශහීන් අෆ්රිඩි 19, මොහොමඩ් හස්නයින් 28, ක්‍රිස් වෝක්ස් 54/5, ආදිල් රෂීඩ් 54/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.