Last Update  :  2025-07-19 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්තය 4-3 කින් පාකිස්තානය පරදවයි

එංගලන්තය 4-3 කින් පාකිස්තානය පරදවයි

editorial - 2022 ඔක් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ලාහෝර් නුවරදී පැවැති 7 වැනි විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් ලකුණු 67 ක පහසු ජයක් ලැබූ එංගලන්ත ක්‍රීඩකයෝ, දෙරට අතර පැවැති තරග 7 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 4-3 ක් ලෙස ජය ගැනීමට සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 210 ක ඉලක්කයක් හඹාගිය පාකිස්තාන කණ්ඩායමට ක්‍රිස් වෝක්ස් ප්‍රමුඛ එංගලන්ත පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ ඕවර 20 ක් අවසන් වන විට කඩුලු 8 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 142 ක් පමණි. එහිදී වෝක්ස් සිය ඕවර 4 ලකුණු 26 කට සීමාකරමින් කඩුලු 3 ක් බිඳහෙළුවේය.  

පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ ශාන් මසූද් පන්දු 43 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 56 ක් රැස්කළේය. ඉෆ්තිකාර් අහමඩ් පන්දු 16 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 19 ක් රැස්කළ අතර කුෂ්දිල් ෂා පන්දු 25 කින් ලකුණු 27 ක් රැස්කළේ හයේ පහරක් සහ හතරේ පහරක් සමගිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 209 ක් රැස්කළ අතර එහිදී ඩේවිඩ් මලාන් (නොදැවී 78) සිය 13 වැනි විස්සයි-20 අර්ධ ශතකය ලබාගත්තේය. පන්දු 47 කට මුහුණදුන් ඔහු හයේ පහර 3 කින් සහ හතරේ පහර 8 කින් සිය ඉනිම සැරසුවේය.

බෙන් ඩකට් (30) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 31 කදී ලකුණු 32 ක සම්බන්ධතාවක් ගොඩනැගූ මලාන්, ඉන් නොනැවතී හැරී බෘක් (නොදැවී 46) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 61 කදී ලකුණු 108 ක නොබිඳුණ සම්බන්ධතාවක්ද ගොඩනගමින් එංගලන්ත ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

පන්දු 19 කදී වාර්තා වූ ඩකට්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් අන්තර්ගත වූ අතර පන්දු 29 කට මුහුණුදුන් බෘක් හයේ පහර 4 කින් සහ හතරේ පහරකින් සිය ඉනිම සැරසුවේය. ආරම්භක පිතිකරුවන් වූ පිලිප් සෝල්ට් පන්දු 12 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 20 ක්ද, ඇලෙක්ස් හේල්ස් පන්දු 13 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 18 ක්ද රැස්කළහ.


එංගලන්තය - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 209
(පිලිප් සෝල්ට් 20, ඇලෙක්ස් හේල්ස් 18, ඩේවිඩ් මලාන් නොදැවී 78, බෙන් ඩකට් 30, හැරී බෘක් 46)

පාකිස්තානය - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 142  
(ශාන් මසූද් 56, ඉෆ්තිකාර් අහමඩ් 19, කුෂ්දිල් ෂා 27, ක්‍රිස් වෝක්ස් 26/3, ඩේවිඩ් විලී 22/2)

-036

 


අදහස් (0)

එංගලන්තය 4-3 කින් පාකිස්තානය පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.