Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියානුවෝ තරගයේ පාලන සියතට ගනිති
මුම්බායි ටෙස්ට් තරගය

ඉන්දියානුවෝ තරගයේ පාලන සියතට ගනිති

editorial - 2021 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ඉන්දීය පිලේ කඩුලූ 10 ම දවාගැනීමට නවසීලන්ත පා දඟ පන්දු යවන කී‍්‍රඩක අජාස් පතෙල් සමත් වූ නමුත් නවසීලන්ත කණ්ඩායමේ මුල් ඉනිම ලකුණු 62 කට සීමා කළ ඉන්දීය පන්දු යවන්නෝ දෙවැනි දිනයේදීම තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම සියතට ගත්හ.

මුම්බායි නුවර වැන්කඩේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (04 වැනිදා) සවස කී‍්‍රඩාව නතර කරන විට ඉන්දීය කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 69 ක් ලබා සිටියේය.

මුල් ඉනිමේදී ලබාගත් ලකුණු 263 ක වාසියත් සමගින් ඉන්දීය පිල ඒ වන විට ලකුණු 332 කින් ඉදිරියෙන් සිටියේය.

ලකුණු 62, ආසියානු කණ්ඩායමක් හමුවේ නවසීලන්තය දැවී ගොස් ඇති අඩුම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවයි. නවසීලන්තය එවන් අඩු ලකුණු සංඛ්‍යාවකට දවාගත හැකිවූයේ වේග පන්දු යවන මොහොමඩ් සිරාජ්ගේ  ඕවර 4 න් ලද ආරම්භය හේතුවෙනි.

 ඕවර 4 කදී කඩුලූ 3 ක් දවාගත් වේග පන්දු යවන්නා, ආරම්භක පිතිකරුවන් වන විල් යංග් (04) සහ ටොම් ලේතම් (10) දෙදෙනාත්, නවසීලන්ත කණ්ඩායමේ සිටින වඩාත්ම පළපුරුදු ටෙස්ට් පිතිකරුවා වන රොස් ටේලර්වත් (01) ලකුණු 17 ක් ඇතුළත කී‍්‍රඩාගාරයට යැවීය. එතැනින් ලද ආරම්භයෙන් ග‍්‍රහණය දැඩිකළ ඉන්දීය පන්දු යවන්නෝ නවසීලන්ත ඉනිම ලකුණු 62 කට සීමා කළහ.

දඟ පන්දු යවන්නකු වන අජාස් පතෙල් විසින් ඉන්දීය මුල් ඉනිමේ කඩුලූ 10 ම දවාගෙන තිබියදීත්, දඟ පන්දු යවන්නන්ට මහත් සහයෝගයක් දක්වන මුම්බායි තණතීරුවේදී මොහොමඩ් සිරාජ්ගේ පන්දු යැවීම සුවිශේෂී දස්කමක් විය.

මුල් ඉනිමේදී ලකුණු 62 කට දැවීයාම නිසා පිට පිටම දෙවැනි වරත් පන්දුවට පහර දීම සඳහා නවසීලන්තය පිටියට යැවීමට හොඳ අවස්ථාවක් තිබිණ. එහෙත් ඉන්දීය නායකයා වෙනස් තීරණයක් ගත්තේය. තවමත් ගෙවී ඇත්තේ තරගයේ දින දෙකක් පමණක් බැවින්, නැවත වරක් ලකුණු රැස්කිරීමට ගත් තීරණය සාර්ථක යයි තහවුරු වූයේ දෙවැනි දිනය නිමා කරන විට ඉන්දීය පිල කිසිවකු නොදැවී ලකුණු 69 ක් ලබා සිටි හෙයිනි.

වසර 144 ක ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ ටෙස්ට් ඉනිමකදී කඩුලූ 10 ම දවාගත් තුන්වැනි පන්දු යවන්නා බවට නවසීලන්තයේ අජාස් පතෙල් පත්විය. ඉන්දීය පළමු ඉනිමේදී අජාස් පතෙල්ගේ පන්දු යැවීම වාර්තා වූයේ 47.5-12-119-10 ක් ලෙසිනි.

අජාස් පතෙල් හැරෙන්නට, වසර 144 ක ටෙස්ට් ඉතිහාසය පුරාම, එවන් දස්කමක් කර ඇත්තේ එංගලන්තයේ ජිම් ලේකර් සහ ඉන්දියාවේ අනිල් කුම්බල් පමණි. ජිම් ලේකර්, 1956 දී  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව පැවැති තරගයකදීත්, අනිල් කුම්බල්, 1999 දී පාකිස්තානයට එරෙහිව පැවැති තරගයකදීත් ටෙස්ට් ඉනිමකදී කඩුලූ 10 ම දවාගත්හ.

ඉන්දීය කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලබාගත් ලකුණු 325 න් ආරම්භක පිතිකරුවා වූ මයන්ක් අගර්වාල් ලකුණු 150 කට හිමිකම් කීවේය. කඩුලූ 4 කට ලකුණු 221 ක් ලබා සිටියදී අද පෙරවරුවේදී කී‍්‍රඩාව ඇරඹූ ඉන්දියානුවෝ කිසිදු අපහසුතාවකින් තොරවම ලකුණු සොයා ගියහ.

රිදිමන් සහා දවාගැනීමත් සමගම අජාස් පතෙල්ට සිය 3 වැනි කඩුලූ 5 ටෙස්ට් ඉනිම සම්පූර්ණ කළ හැකිවිය. පිට පිටම පන්දු දෙකකින් රිදිමන් සහ රවිචන්ද්‍රන් අශ්වින් දවාගත් නමුත් තවත් පතෙල්වරයකු වන අක්ෂර් පතෙල් විසින් අජාස්ගේ කඩුලූ ති‍්‍රත්වය වළක්වන ලදි.

අජාස්ගේ පන්දුවක් හමුවේ බැක් කට් පහරක් ගසමින් සිය ලකුණු 150 සම්පූර්ණ කළ මයන්ක් අගර්වාල් ඊළඟ පන්දුවේදී දැවී ගියේය. සිය මංගල ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කළ අක්සර් පතෙල් ද ඉන් මඳ වේලාවකට පසුව දැවීගියේ තමන්ගේ පරම්පරාවේම එකෙකුට 8 වැනි කඩුල්ලත් තිළිණ කරමිනි.

අජාස් පතෙල්ට 10 වැනි කඩුල්ල හිමිකර දෙමින් මොහොමඞ් සිරාජ්ගේ උඩපන්දුව රැකගන්නා ලද්දේ තවත් ඉන්දීය සම්භවයකින් යුත් නවසීලන්ත ජාතිකයකු වන රචින් රවීන්ද්‍ර විසිනි.

 

ඉන්දියාව - පළමු ඉනිම 325 යි
(මයන්ක් අගර්වාල් 150, ෂුබ්මන් ගිල් 44, ශි‍්‍රයාස් අයියර් 18, රිදිමන් සහා 27, අක්ෂර් පතෙල් 52, ජයන්ත් යාදව් 12, අජාස් පතෙල් 119/10)

නවසීලන්තය - පළමු ඉනිම 62
(ටොම් ලෙතම් 10, කයිල් ජැමීසන් 17, මොහොමඞ් සිරාජ් 19/3, අක්ෂර් පතෙල් 14/2, රවිචන්ද්‍රන් අශ්වින් 08/4)

ඉන්දියාව - දෙවැනි ඉනිම කිසිවකු නොදැවී 69
(මයන්ක් අගර්වාල් නොදැවී 38, චෙටේස්වාර් පුජාරා නොදැවී 29)

 

- 213

 


අදහස් (0)

ඉන්දියානුවෝ තරගයේ පාලන සියතට ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.