Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අරූෂ්ට වසර 5 ක ක‍්‍රිකට් තහනමක්

අරූෂ්ට වසර 5 ක ක‍්‍රිකට් තහනමක්

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 25 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ කළමණාකරු සහ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විනිසුරු කමිටු සභාපතිවරයා ලෙස කටයුතු කළ ඒ. ආර්. එම්. අරූෂ් මහතාට ක‍්‍රිකට් පරිපාලනයේ කිසිඳු කටයුතුත්තකට සහභාගි වීම වසර පහකට තහනම් කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් විධායක කමිටුව තීරණය කර තිබේ.

ශ්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිලේ නායිකා ශෂිකලා සිරිවර්ධනට ලැබුණු අනුග‍්‍රහක ගෙවීමකින් කොමිස් මුදලක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් පිළිබඳව ක‍්‍රිකට් ආයතනයේ විනය කමිටුව කළ පරීක්‍ෂණයෙන් පසුව මෙම දඩුවම නිර්දේශ කර තිබේ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණ නිලධාරියකු වන අරූෂ් මහතාට මෙම තීරණයත් සමග ක‍්‍රීඩා සමාජ තනතුර ඇතුළු ක‍්‍රිකට් පරිපාලනයට සම්බන්ධ කිසිඳු තනතුරක් දැරීම තහනම් වේ.

මේ වසර මුලදී පැවැති ක‍්‍රිකට් ආයතනයේ නිලවරණයේදී විනිසුරු කමිටු සභාපතිවරයා ලෙස තේරීපත්වූ අරූෂ් මහතා කාන්තා ක‍්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයකු ලෙස කටයුතු කළේය. මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී අරූෂ් මහතා පැවසුවේ මේ පිළිබඳව ක‍්‍රිකට් ආයතනය තමන්ව ලිඛිතව දැනුවත් කර නොමැති බවයි.

‘‘මා කළමණාකරු ලෙස කටයුතු කළ කෙටි කාලෙදී කාන්තා ක‍්‍රිකට් පිලට පහසුකම් රැසක් ලබා දෙන්න මට හැකි වුණා, ඒ පිළිබඳව ක‍්‍රීඩිකාවන් දන්නවා. මගේ පෞද්ගලික මුදලින් පහසුකම් සැළසුවා. මා කණ්ඩායමේ කළ වෙනස්කම් නිසා ලෝක කුසලාන තරගාවලියේදී ඉතිහාසගත ජයග‍්‍රහණ ලබා ගන්න හැකි වුණා’’ යැයි අරූෂ් මහතා වැඩි දුරටත් පැවසීය.

මේ පිළිබඳව අදහස් දැක්වූ ක‍්‍රිකට් ආයතනයේ විධායක කමිටු සාමාජිකයකු පැවසුවේ මෙවැනි සිද්ධීන්වලට ක‍්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස මහතා තදින් කටයුතු කරන බවයි. ‘‘මේ නිලධාරියා ගලවා ගැනීමට බොහෝ උසස් අය ඉදිරිපත් වුණා. නමුත් සභාපතිවරයා මේ පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කළා’’ යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

 


අදහස් (1)

අරූෂ්ට වසර 5 ක ක‍්‍රිකට් තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.