Last Update  :  2024-04-19 10:55:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අබ්දුල්ලා පාකිස්තානය දිනවයි
ගාල්ල ටෙස්ට් තරගය

අබ්දුල්ලා පාකිස්තානය දිනවයි

editorial - 2022 ජුලි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය ගාල්ල ක්‍රීඩාංගණයේ සිට)

ආරම්භක පිතිකරු අබ්දුල්ලා ශෆීක්ගේ අධිෂ්ඨානශීලී පිතිහරඹයත්, ඉදිරිපෙළ පිතිකරුවන්ගේ සාර්ථක දායකත්වයත් හේතුවෙන් ගාල්ලේදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී පාකිස්තානුවෝ ශ්‍රී ලංකාව පරාජය කරමින් කඩුලු 4 ක පහසු ජයක් අත්කර ගත්හ. ලකුණු 342 ක ඉලක්කයක් කරා ගිය පාකිස්තානු කණ්ඩායම, තරගයේ පස්වැනි දිනය වන අද (20 වැනිදා) පස්වරුවේදී කඩුලු 6 ක් දැවී සිය ඉලක්කය පසුකර ගියේය.

පාකිස්තානු ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් කළ අබ්දුල්ලා ශෆීක්, තරගයේ ජයග්‍රාහී ලකුණ ලබාගත්තේ අලංකාර කවර් ඩ්‍රයිව් පහරකිනි. ඉනිම ආරම්භයේ සිටම, පැය අටහමාරක පමණ කාලයක් පිටියේ රැඳුණු අබ්දුල්ලා ශෆීක්, පන්දු 408 කට මුහුණ දුන්නේය. ඔහුගේ ඉවසීම කොතෙක්ද යත් සිය අර්ධ ශතකයට හතරේ පහර 4 ක් එක්කළ අබ්දුල්ලාගේ සම්පූර්ණ ඉනිමට ඇතුළත් වූයේ හතරේ පහර 7 ක් සහ හයේ පහරක් පමණි. ඔහු වැඩිපුර ලබාගත්තේ තනි ලකුණුය. ඒ සඳහා පිටියේ ඕනෑතරම් හිදැස් තිබුණේය.

තවමත් 22 හැවිරිදි ක්‍රීඩකයකු වන අබ්දුල්ලා ශෆීක්, මේ දක්වා සහභාගි වූ ටෙස්ට් තරග 6 දී ශතක දෙකක් සහ අර්ධ ශතක 4 ක් ලබා තිබේ. නිසැක වශයෙන්ම මේ ඉදිරියේදී දිළෙන තාරකාවකි.

මෙම ලකුණු සංඛ්‍යාව විදේශීය කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ පැවැති ටෙස්ට් තරගයක් ජයගැනීම සඳහා සිව්වැනි ඉනිමේදී ලබාගත් දෙවැනි විශාලතම ලකුණු සංඛ්‍යාවයි. මීට පෙර, වසර 2015 ජූලි මාසයේදී පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයදී පාකිස්තානුවෝ ලකුණු 382 ක් හඹා යමින් එම තරගය ජයග්‍රහණය කළහ.

පළමු කඩුල්ලෙන් ආරම්භ වූ සාර්ථක සම්බන්ධතා මාලාව, සිව්වැනි කඩුල්ලෙන් අවසන් වන විට පාකස්තානුවෝ ජයග්‍රහණයට ලකුණු 66 ක් මෑතින් සිටියහ. පළමුවැනි කඩුල්ලේ සිට සම්බන්ධතා සටහන් වූයේ 87, 17, 101 සහ 71 ලෙසිනි. හයවැනි කඩුල්ල ලකුණු 303 දී බිඳ වැටුණ නමුත් හත්වැනි කඩුල්ල වෙනුවන් අබ්දුල්ලා සහ මොහොමඩ් නවාස් අතාරේ තවත් ලකුණු 41 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවී තිබිණ.

තරගයේ පස්වැනි දිනය වූ අද පෙරවරුවේ තරගය ආරම්භ වන විට ජයග්‍රහණය සඳහා පාකිස්තානුවන්ට අවශ්‍ය වූයේ ලකුණු 120 කි. එයට තවත් ලකුණු 20 ක් එකතු වෙද්දී ශ්‍රී ලංකාවේ ඉල්ලීම් දෙකක්ම විනිසුරු කුමාර් ධර්මසේන මහතා අතින් ප්‍රතික්‍ෂේප විය. එම අවස්ථා දෙකේදීම ශ්‍රී ලංකා නායකයා විතීවි සහාය ඉල්ලා සිටි නමුත් දෙවතාවේදීම විනිසුරුවරයා නිවැරදි වූයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ විතීවි අවස්ථා එතැනින් නිමාවිය.

දෙවැනි ඉනිමේ මුල සිටම ශ්‍රී ලංකා කණ්ඩායම අනුගමනය කළ ආරක්‍ෂිත පියවර හේතුවෙන් පිටිය පුරාම තනි ලකුණු රැඳී තිබිණ. අනෙක් අතට පාකිස්තානයට ඕනෑ තරම් කාලයද ඉතිරි වී තිබිණ. එබැවින් පාකිස්තානුවෝ අනවශ්‍ය අවදානමක් නොගෙන, හීන්සීරුවේ තමන්ගේ ඉලක්කය කරා ගියහ. වෙනසකට තිබුණේ ශ්‍රී ලංකා පිතිකරුවන්ට පාකිස්තානු පන්දු යවන්නන්ගෙන් ලැබුණු ආකාරයේ ඉහළ මට්ටමේ යුතු පන්දු දෙක තුනක් වත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට තම ප්‍රතිවාදීන් වෙත යවාගත නොහැකි වීමයි.
ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් වූ ඕෂධ ප්‍රනාන්දු (64) සහ කුසල් මෙන්ඩිස් (76) දෙදෙනාටත්, ධනංජය ද සිල්වාත් දවාගැනීමට යසීර් ෂා යැවූ පන්දු තුනම ටෙස්ට් තරගයකදී කළාතුරකින් දැකගත හැකි විශිෂ්ට ගණයේ පා දඟ පන්දු විය. එහෙත් ප්‍රභාත් ජයසූරිය විසින් බාබර් අසාම්ට යවන ලද පන්දුව හැරෙන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් වෙතින් එවන් ආකාරයේ පන්දු යැවීමක් දැකගත නොහැකි විය.

මේ අතරවාරයේදීම අබ්දුල්ලා ශෆීක් ලකුණු 70 දී (නිරෝෂන් දික්වැල්ල), 135 දී (ධනංජය ද සිල්වා) සහ 151 දී (මහීෂ් තීක්‍ෂණ) දුන් උඩපන්දු තුනක්ම ගිළිහී ගියේ පාකිස්තානයේ වාසනාවට අත වනමිනි. අනෙක් දෙකට සාපේක්‍ෂව, අබ්දුල්ලාගේ අවසන් උඩපන්දුව ඉතාම පහසු එකක් විය. ඒ වන විට පාකිස්තානු කණ්ඩායම ජයග්‍රහණයට ලකුණු 19 කින් තරම ආසන්න වී සිටියද, එය රැකගත හැකිවූයේ නම් පාකිස්තානුවන්ට කිසියම් පීඩනයක් එල්ල කිරීමේ අවස්ථාවක්ද නොතිබුණා නොවේ. එහෙත් ඒ වන විටත් පාකිස්තනුවෝ නැවත ගිළිහී නොයන්නට තරගය ග්‍රහණය කරගෙන තිබිණ.

දෙවැනි ඉනිම ආරම්භයේදීම, (මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 07 සිට 11 දක්වා) දවාගැනීමේ අවස්ථා තුනක්ම ගිළිහී යාමෙන් පෙන්නුම් කළ කාරණාව, දින එකහමාරකට පසුව සැබෑවක් වූයේය.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් තරගය ලබන ඉරිදා (24 වැනිදා) ගාල්ල ක්‍රීඩාංගණයේදීම ආරම්භ වීමට නියමිතය. මේ වසරේදී ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් ටෙස්ට් තරගය එයයි.

 


අදහස් (0)

අබ්දුල්ලා පාකිස්තානය දිනවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.