(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටය යටතේ එන්.සී.සී. ක්‍රීඩා සමාජය සහ පොලිසිය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී අගනා ද්විතව ශතකයක් වාර්තා කිරීමට එන්.සී.සී. කණ්ඩායමේ ළහිරු උදාර (261) සමත් විය.
මෙම තරගය එන්.සී.සී. කණ්ඩායමට මුල් ඉනිමේ ජයක් අත්කර දෙමින් ජය පැරදුමකින් තොරව නිමාවට පත් විය. තරගය නිමාවට පත්වන විට ඉනිමක පරාජයකින් ගැළවීම සඳහා පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දෙමින් සිටි පොලිස් කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 206 ක් ලබා සිටියේය.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එන්.සී.සී. ක්‍රීඩකයෝ සිය පළමු ඉනිම සඳහා කඩුලු 9 ක් දැවී ලකුණු 631 ක් ලබාගැනීමෙන් අනතුරුව ඉනිම අත්හිටවූහ. එහිදී ඉතා ඉවසිලිමත් පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු ළහිරු උදාර හයේ පහර 4 ක් සහ හතරේ පහර 25 ක් සමග ලකුණු 261 ක් රැස්කළේය.
පැතුම් නිස්සංක (77) සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 128 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ළහිරු, ඉන් නොනැවතී කමිල් මිෂාර (149) සමග එක්ව දෙවැනි කඩුල්ලට ලකුණු 268 ක්ද, අහන් වික්‍රමසිංහ (44) සමග එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 100 ක්ද එක්කරමින් සිය කණ්ඩායම ලකුණු 600 සීමාව කරා ගෙන ගියේය.
කමිල්ගේ ශතකය හයේ පහර 3 කින් සහ හතරේ පහර 12 කින්ද, පැතුම්ගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 12 කින්ද සමන්විත වූ අතර වේගවත් පිතිහරඹයක නිරත වූ අහන් වික්‍රමසිංහ පන්දු 26 කින් ලකුණු 44 ක රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගිනි. නිරෝෂන් දික්වැල්ල හතරේ පහර 5 ක් සමග ලකුණු 35 ක් රැස්කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පොලිස් කණ්ඩායම ලකුණු 237 කට සීමා කිරීමට කවිඳු පතිරත්න ප්රමුඛ එන්.සී.සී. පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ කවිඳු ලකුණු 32 කට කඩුලු 4 ක් දවාගැනීමට සමත් වූ අතර ශක්ති උදාර සහ චාමික කරුණාරත්න කඩුලු 2 බැගින් බිඳහෙළීමට සමත් වූහ.
එන්.සී.සී. පළමු ඉනිම - කඩුලු 9 ක් දැවී 631
(පැතුම් නිස්ංසක 77, ළහිරු උදාර 261, නිරෝෂන් දික්වැල්ල 35, කමිල් මිෂාර 149, අහන් වික්‍රමසිංහ 44, සහන් ආරච්චිගේ 22, චාමික කරුණාරත්න නොදැවී 22, දිලුම් සුදීර 211/5, සුපුන් මධුෂංක 116/2)
පොලිස් පළමු ඉනිම - සියලු දෙනා දැවී 237
(අවිෂ්ක තරිඳු 29, ධනූජ ඉඳුවර 45, දුලාෂ් උදයංග 47, රෂ්මික හිරුෂාන් 40, සුපුන් මධුෂංක නොදැවී 44, කවිඳු පතිරත්න 32/4, චාමික කරුණාරත්න 49/2, ශක්ති උදාර 56/2)
පොලිස් දෙවැනි ඉනිම - කඩුලු 6 ක් දැවී 206
(දුලාෂ් උදංයංග 31, ප්‍රියමාල් පෙරේරා 34, අෂේන් බණ්ඩාර 34, රෂ්මික හිරුෂාන් නොදැවී 70, ශක්ති උදාර 56/4)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.