මෙම මස 19 වැනිදා සිට 31 වැනිදා දක්වා පකිස්තානයේදී එක්දින තරග තුනකට සහ විස්සයි විස්ස තරග දෙකකට සහභගි වීමට සිම්බාබ්වේ ක‍්‍රිකට් කණ්ඩායම කැමැත්ත පළ කර තිබේ. ඒ පිළිබඳව අවසන් තීරණය ගැනීම සඳහා සිම්බාබ්වේ ක‍්‍රිකට් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ ඇලිස්ටයාර් කැම්බල් මේ දිනවල පකිස්තානයේ සංචාරය කරමින් එහි ආරක්‍ෂක තත්ත්වය පිළිබඳව සොයා බැලීමක නිරත වෙමින් සිටියි.
2009 වසරේ මාර්තු 3 වැනිදා පකිස්තානයේ ලාහෝර් නුවරදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ත‍්‍රස්ත ප‍්‍රහාරයකට ලක්වීම නිසා පකිස්තානයේ ජාත්‍යන්තර ක‍්‍රිකට් තරග පැවැත්වීමට අයි.සී.සී. අනුමැතිය නොලැබිණි. එහෙත් සිම්බාබ්වේ සහ පකිස්තානය අතර පැවැත්වීමට නියමිත තරගාවලිය සඳහා අයි. සී. සී. ය ආරක්ෂක තත්ත්වය පිළිබඳව තහවුරු නොකළද රටවල් දෙකේ කැමැත්ත පරිදි තරගාවලිය පැවැත්විය හැකි බව දන්වා තිබේ.
මෙම තරගාවලිය පැවැත්වීමට සිම්බාබ්වේ කණ්ඩායම එකග වීම හේතුවෙන් ලබන අගෝස්තු මස පකිස්තාන් කණ්ඩායම සිම්බාබ්වේ සංචාරය කිරීමට එකග වී තිබේ.
කෙසේ වෙතත් වසර හයකට පසුව පකිස්තානයේ පැවැත්වෙන ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙලක් සකස් කරන බව පකිස්තාන් ආරක්‍ෂක ප‍්‍රධානීන් එරට ක‍්‍රිකට් ආයතනයට පොරොන්දු වී ඇති බවද වාර්තා වේ.
- 033
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.