Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket සංගා ගිම්හානය නිමාවේ ගිමන් නිවීමට සූදානම්

සංගා ගිම්හානය නිමාවේ ගිමන් නිවීමට සූදානම්

ශනුක අරවින්ද - 2017 මැයි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයේ සරේ ප්‍රාන්ත පිල වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටින කුමාර් සංගක්කාර මෙවර එංගලන්ත ක්‍රිකට් සමය නිමාවේදී පළමු පෙළ තරග වලින් සමුගැනීමට තීරණය කර තිබේ. වසර 19 ක් පුරා පළමු පෙළ තරග 254 කට සහභාගි වෙමින් ඉනිම 420 කදී ලකුණු 20,012 ක් ලබාගත්තේය. ඊට ශතක 60 ක් සහ අර්ධ ශතක 85 ක් ඇතුළත් වී තිබිණ. වසර 2015 අගෝස්තුවේදී ටෙස්ට් පිටියෙන් සමුගත් ශ්‍රී ලංකා පිලේ හිටපු නායකයා මේ වසරේ එංගලන්ත ගිම්හානය නිමා වන තුරු සරේ ප්‍රාන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරීමට ගිවිසුම් අත්සන් කර සිටියේය.

“වැළැක්විය නොහැකි දේ සමග සටන්වදින්න අපි කවුරුත් උත්සාහ කරනවා. ඒත් අපි යම් දෙයකින් සමුගන්න ඕනෑ අපි එයට වඩා ඉදිරියෙන් සිටින විටයි” යයි පළමු පෙළ තරග වලින් සමුගැනීමේ අදහස පිළිබඳ ප්‍රකාශ කරමින් කුමාර් සංගක්කාර බී.බී.සී. පුවත් සේවයට කීවේය.

“ලෝඞ්ස් පිටියේදී මා සිවුදින (පළමු පෙළ) තරගයක් ක්‍රීඩා කරන අවසන් අවස්ථාව මෙයයි. තවත් මාස කිහිපයකින් මා 40 වැනි වියට පා තබනවා. එංගලන්ත ප්‍රාන්ත තරගාවලියට මා ක්‍රීඩාකරන අවසන් සමය මෙයයි” යයිද සංගක්කාර පැවසීය. කෙසේ වෙතත් වසර 2018 වන තුරු විස්සයි:20 තරග වෙනුවෙන් ක්‍රීඩා කිරීමට සංගක්කාර ගිවිසුම් අත්සන් කර තිබේ.

සංගක්කාරගේ උඩුකය සිතුවමක් පසුගිය සතියේදී ලෝඞ්ස් ක්‍රීඩාගාරයේදී නිරාවරණය කරන ලද අතර සංගක්කාර එහි සතුට පළකළේ මිඞ්ල්සෙක්ස් පිලට එරෙහිව ලෝඞ්ස් පිටියේදී පැවැති තරගයේ ඉනිම දෙකේදීම ශතක දෙකක් ලබාගනිමිනි.

සරේ ප්‍රාන්ත පිල නියෝජනය කරමින් මිඞ්ල්සෙක්ස් පිලට එරෙහිව ලෝඞ්ස් පිටියේදී පැවැති අන්තර් ප්‍රාන්ත තරගයේ ඉනිම දෙකේදීම ශතක දෙකක් ලබාගැනීමට සංගක්කාර සමත් වූ අතර එහි දෙවැනි ශතකය සංගක්කාරගේ 60 වැනි පළමු පෙළ ශතකයද විය. එම තරගයේදී පළමු පෙළ ලකුණු 20,000 කඩයිම පසුකර යාමටද සංගක්කාර සමත් වූයේය. පළමු පෙළ ලකුණු 20,000 පසුකළ පළමුවැනි ශ්‍රී ලාංකික පිතිකරුවා වන්නේද සංගක්කාරය.

“ඕනැම කෙනෙකුට වැරදෙන තැනක් තියෙනවා. ඒ තමයි තමන්ගේ නියම තත්ත්වයට වඩා තමන් හොඳයි කියලා හිතන එක....ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණත්, වෙනත් ක්‍රීඩාවක නිරත වී සිටින ක්‍රීඩකයෙක් වුණත් ක්‍රීඩා කළ හැකි කාලයක් තියෙනවා. ඊට පස්සේ ඉවත්වෙලා යන්න ඕනෑ”

“මේ තරම් කාලයක් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙන්න තරම් මා ඉතා වාසනාවන්තයි. ඒත් ජීවිතය කියන්නේ ක්‍රිකට් වලින් එහාට ගිය දෙයක්” යයිද සංගක්කාර පවසා තිබිණ.

ටෙස්ට් තරග 134 කදී ද්විත්ව ශතක 11 ක්ද සමගින් ශතක 38 ක් ලබාගැනීමට සමත්වූ සංගක්කාරගේ ටෙස්ට් ඉනිමක සාමාන්‍යය +57.40 කි.

2015 දී ටෙස්ට් පිටියෙන් සමුගත් සංගක්කාර සරේ පිල වෙනුවෙන් වසර දෙකක්  ක්‍රීඩා කිරීමට ගිවිසුම් අත්සන් කළේය. සරේ පිල වෙනුවෙන් ක්‍රීඩා කළ පසුගිය වසරේදීද සංගක්කාර ලකුණු 1000 ඉක්මවා ලබාගත් මෙම අලංකාර වමත් පිතිකරුවා ලෝකයේ වඩාත්ම ගෞරව බහුමානයට පත්වූ ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී මිඞ්ල්සෙක්ස් පිලට එරෙහිව ඉනිම දෙකේදීම ශතක දෙකක් ලබාගත්තේ සිය සමුගැනීම අලංකාරවත් කරමිනි.

“ලෝඞ්ස් පිටියේදී මා සහභාගි වූ අවසන් ටෙස්ට් තරගයේදීත් මා මෙතැන වාඩිවී සිටින විට මට හිතුණා අනේ මට ශතකයක් ලබාගන්න හැකිනම් කියා. ඒත් මා ලකුණු නොලබා දැවී ගියානම් ඒක කොහොමට හිටීද”

“කවදාවත් හිතලා ශතකයක් ලබාගන්න බෑ. හිතන්න පුළුවන් එක දෙයයි. ඒ තමයි මට ශතකයක් ලබාගන්න පුළුවන් නම් කියන එක...ඉන් පස්සේ ඒ වෙනුවෙන් උත්සාහ කරද්දී අමාරු අවස්ථා එනවා..එන එන විදිහට මුහුණ දෙනවා” යයි සංගක්කාර කීවේය.

“පළමු පෙළ ලකුණු 20,000 ක් ලබාගත් බව මා දැනගෙන හිටියේ නෑ. මා දැනගෙන හිටියේ ටෙස්ට් සහ එක්දින තරගවලදී මා ලබාගත් ලකුණු පමණයි. කොහොම වුණත් ඒ වගේ කඩයිමක් පසුකරන්න ලැබුණ එක සතුටුයි” කී සංගක්කාර ලබන ජූනි මාසයෙන් පසුව කැරීබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් වෙත යයි.

“මේ වසරේදී මා බාරගත් කොන්ත්‍රාත්තු දෙකක් ඉවර කරන්න තියෙනවා. කොහොම වුණත් මා ඇතුළේ ඉන්න කුළීහේවායා තවමත් ජීවත් වෙනවා” යයිද සංගක්කාර පැවසීය.


අදහස් (0)

සංගා ගිම්හානය නිමාවේ ගිමන් නිවීමට සූදානම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.