Last Update  :  2025-12-19 19:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකා ‘ඒ’ලකුණු 32 ක් ඉදිරියෙන්

ශ්‍රී ලංකා ‘ඒ’ලකුණු 32 ක් ඉදිරියෙන්

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයර්ලන්ත ‘ඒ’ පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු සිවුදින තරගයේ පළමු දිනය වන අද (05) පස්වරුවේ ක්‍රීඩාව අවසන් කරන විට ශ්‍රී ලංකා ‘ඒ’ පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු හතරක් දැවී ලකුණු 185 ක් රැස්කර සිටියේය. ශ්‍රී ලංකා ‘ඒ’ පිල පළමු දිනය අවසන් වන විට ලකුණු 32 ක් ඉදිරියෙන් සිටියේය.

ඒ වනවිට මිලින්ද සිරිවර්ධන (නොදැවී 73) සහ කමිඳු මෙන්ඩිස් (නොදැවී 64) පන්දුවට පහර දෙමින් සිටියහ.
මිලින්ද සිරිවර්ධන පන්දු 79 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 73 ක් රැස්කර සිටියි. කමිඳු මෙන්ඩිස් පන්දු 90 කදී හතරේ පහර 10 ක් සමගින් ලකුණු 64 ක් රැස්කර තිබුණි.  

ටෙස්ට් ක්‍රීඩක මිලින්ද සිරිවර්ධන සහ කමිඳු මෙන්ඩිස් පස්වැනි කඩුල්ලට ගොඩනැගූ ලකුණු 139 ක නොබිඳුණු සම්බන්ධතාව නිසා ශ්‍රී ලංකා ‘ඒ’ පිලට පළමු දිනයේම වාසිය හිමිකරගැනීමට අවස්ථාව උදාවිය.

නායක අෂාන් ප්‍රියංජන් (06) සහ උප නායක ඇන්ජලෝ පෙරේරා (04) අසාර්ථක වීමෙන් ඉදිරි පෙළ පිතිකරුවෝ හතර දෙනාම ලකුණු 46 කට දැවී ගියහ.

ශ්‍රී ලංකා පන්දු යවන්නෝ පළමුව පන්දුවට පහර දුන් අයර්ලන්ත ‘ඒ’ පිල ලකුණු 153 කට සීමා කිරීමට සමත් වූහ.

දකුණතින් වේග පන්දු යවන මොහොමඞ් ශිරාෂ් (47/4) සහ වමතින් දඟ පන්දු යවන ලසිත් ඇඹුල්දෙණිය (46/4) දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු හතර බැගින් දවාගත්හ.  

ආරම්භක පිතිකරු ජේම්ස් මැකලම් ලකුණු 76 ක් ලබා සිටියදී ලසිත් ඇඹුල්දේණියගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් නවවැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් විය. මැකලම්ගේ පන්දු 108 ක ඉනිමට හතරේ පහර 10 ක් ඇතුළත් විය.

ජේම්ස් මැකලම් සහ නීල් රොක් හත්වැනි කඩුල්ලට ලකුණු 50 ක සම්බන්ධතාවක් පවත්වමින් ගෞරවය රැකගැනීමට සමත් වූහ. එම සම්බන්ධතාව නොවන්නට අයර්ලන්ත පිලට ලකුණු 100 ක් රැස්කිරීම ද අභියෝගයක් වීමට ඉඩ තිබුණි.

මොහොමඞ් ශිරාෂ් එම සම්බන්ධතාවට ද නැවතීමේ තිත තබමින් පන්දු 54 ක් කඩුල්ල රැකගෙන සිටි නීල් රොක් (28) පිටියෙන් ඉවත් කළේය. 

අයර්ලන්ත ‘ඒ’ පිලේ මුල් පෙළ කඩුලු හය ලකුණු 62 කට දවා ගැනීමට මොහොමඞ් ශිරාෂ් සහ නිශාන් පීරිස් සමත් වූහ. ශිරාෂ් යැවූ ඉනිමේ නවවැනි ඕවරයේ පළමු සහ තෙවැනි පන්දුවලදී කඩුලු දෙකක් දවාගනිමින් ලකුණු 21 කට කඩුලු තුනක් බවට පත්කළේය. පිට දඟ පන්දු යවන නිෂාන් පීරිස් යැවූ ඉනිමේ 14 වැනි ඕවරයේ පළමු සහ තෙවැනි පන්දුවලදී කඩුලු දෙකක් දවා ගනිමින් ලකුණු 41 කට කඩුලු පහක් බවට පත්කිරීමට සමත්වීමෙන් අයර්ලන්තය අමාරුවේ වැටුණි.

අයර්ලන්ත ‘ඒ’ පිලේ නායක හැරී ටෙක්ටර් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීම තෝරාගත්තේය.


අදහස් (0)

ශ්‍රී ලංකා ‘ඒ’ලකුණු 32 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.