Last Update  :  2025-07-19 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාව ජයග්‍රාහී මානසිකත්වයකින් අවසන් සටනට
ආසියානු කුසලාන

ශ්‍රී ලංකාව ජයග්‍රාහී මානසිකත්වයකින් අවසන් සටනට

editorial - 2022 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද ඩුබායි සිට..)

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අද (11 වැනිදා) ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. මෙම කණ්ඩායම් දෙකම ආසියානු කුසලාන තරගාවලියක අවසන් මහ තරගයට සුදුසුකම් ලබා සිටින්නේ වසර 8 කට පසුවය. අවසන් වරට 2014 වසරේ ආසියානු කුසලාන අවසන් මහ තරගයේදී මෙම කණ්ඩායම් දෙක මුණගැසුණ අවස්ථාවේදී ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායම සතු විය.

සුපිරි 4 දෙනාගේ ව‍ටයේදී පිට පිටම ජයග්‍රහණ 4 ක් ලබා සිටින ශ්‍රී ලංකාව මෙවර අවසන් මහ තරගයට පිවිසෙන්නේ ජයග්‍රහාගී මානසිකත්වයකින් යුතුවය. අවසන් තරගයට පෙර ඉකුත් සිකුරාදා (9 වැනිදා) පැවැති තරගයේදී පාකිස්තානය පරාජය කිර තිබීමද ශ්‍රී ලංකාවට අමතර වාසියක් වනු ඇත. කෙ‍සේ වුවත් එම තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම අවසන් තරගයට සහභගි වීමට පෙර යම් වෙනසකට භාජනය වීමට ඉඩ ඇති බව නායක දසුන් ශානක කියා සිටියේය.

එම තරගයේදී කණ්ඩායමේ උප නායක චරිත් අසලංක සහ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වා සහ වේග පන්දු යවන ක්‍රීඩක ප්‍රමෝද් මධුෂාන් ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවනු ලැබිණ. ලද අවස්ථාවේදී උපරිම දස්කම් දැක්වූ ධනංජය සිය ඕවර 4 ලකුණු 18 කට සීමා කරමින් කඩුල්ලක් දවාගත් අතර ප්‍රමෝද් මධුෂාන් ලකුණු 21 කට කඩුලු 2 ක් බිඳහෙළීය. ‍

ධනංජය සහ ප්‍රමෝද් අවසන් තරගයේදීත් කණ්ඩායමේ රඳවාගන්නේද, නැතහොත් අසලංකට සහ අසිතට අවසන් තරගයේදී යළිත් කණ්ඩායමට ඇතුළත් වීමට අවස්ථාවක් තිබේද යනුවෙන් මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් දසුන් මෙසේ පැවසීය.

“ඇත්තටම අවස්ථාවක් තියෙනවා. ඒත් කණ්ඩායමේ අවසන් 11 දෙනා තෝරන්නේ මම නෙමේ. තේරීම් කමිටුව. ඒ නිසා මට දැන්ම ඒ ගැන කියන්න බැහැ. ඒත් කණ්ඩායමේ ලොකු වෙනසක් වේවි කියලා මම හිතන්නේ නෑ.” යැයි එහිදී දසුන් සඳහන් කළේය.

පාකිස්තානයද ශ්‍රී ලංකාව මෙන්ම මෙවර තරගාවලියේදී මුහුණදුන් පළමු තරගය පරාජයට පත්වූ නමුත්, ඉන් අනතුරුව සහභාගි වූ තරග 3 ම ජයගැනීමට සමත්විය.‍එහෙත් අවසන් තරගයට පෙර ශ්‍රී ලංකාව හමුවේ පැවැති තරගයේදී ලැබූ පරාජයෙන් අනතුරුව පාකිස්තාන කණ්ඩායමේ පුහුණුකරු සක්ලේන් මුෂ්ටාක් මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව ජයග්‍රාහී මානසිකත්වයකින් අවසන් තරගයට පිවිසියද, පාකිස්තානය ඊට එක්වන්නේ ශ්‍රී ලංකාව හමුවේ ලැබූ පරාජයෙන් පාඩම් ඉගෙන ගනිමින් බවය.

සෙසු පිතිකරුවන් සියලු දෙනාම පාහේ තරගයකදි දෙකකදී හෝ ලකුණු අතරට පැමිණියද, ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායක චරිත් අසලංක තවමත් සිය සුපුරුදු රිද්මයට පැමිණීමට මහත් වෙහෙසක් දරමින් සිටියි. මෙම තරගාවලියේ සහභාගි වූ තරග 4 දී ඔහුගේ ලකුණු ලබාගැනීම 0, 1, 8, 0 ක් ලෙස සටහන් වීම තුළින් එය වඩාත් තහවුරු වේ. එබැවින් අවසන් මහ තරගයේදී ඔහුට යළිත් කණ්ඩායමේ ස්ථානයක් හිමිවේවද යන්න සැක සහිතය. 

විස්සයි-20 ක්‍රිකට් ඉතිහාසයේ මේ දක්වා ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරග 22 ක් පැවැත්වී ඇති අතර ඉන් 13 කදීම ශ්‍රී ලංකාව පරාජය කිරීමට පාකිස්තානය සමත්ව තිබේ. පාකිස්තානය පරාජය කිරීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත්තේ තරග 9 කදී පමණි. කෙසේ වුවත් අවසන් වරට 2019 වසරේදී දෙරට අතර ලා‍හෝර් නුවරදී පැවැති විස්සයි-20 තරගාවලියෙන් තරග 3-0 ක ජයක් ලැබීමට ශ්‍රි ලංකාව සමත්ව තිබේ.

ශ්‍රී  ලංකා සංචිතය

දසුන් ශානක (නායක), ධනුෂ්ක ගුණතිලක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, භානුක රාජපක්ෂ, අෂේන් බණ්ඩාර, ධනංජය ද සිල්වා, වනිඳු හරසංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, ප්‍රවීන් ජයවික්‍රම, චාමික කරුණාරත්න, දිල්ෂාන් මධුෂංක, මතීෂ පතිරණ, අසිත ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මධුෂාන් 

පාකිස්තාන සංචිතය

බාබර් අසාම් (නායක), මොහොමඩ් රිස්වාන්, ෆකාර් සමාන්, ඉෆ්තිකර් අහමඩ්, කුෂ්දිල් ෂා, අසීෆ් අලී, ශදාබ් ඛාන්, මොහොමඩ් නවාස්, නසීම් ෂා, හාරිස් රවුෆ්, මොහොමඩ් හස්නයින්, උස්මාන් කාදර්, හයිඩර් අලී, හසන් අලී සහ ශානවාස් දහානි


අදහස් (0)

ශ්‍රී ලංකාව ජයග්‍රාහී මානසිකත්වයකින් අවසන් සටනට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.