Last Update  :  2025-05-10 18:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ශ්‍රී ලංකාවේ ගෙල සිරවෙයි
බැංගලූරු ටෙස්ට් තරගය

ශ්‍රී ලංකාවේ ගෙල සිරවෙයි

editorial - 2022 මාර් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

 

පිට පිටම දෙවැනි වතාවටත් ශ්‍රී ලංකාව ගල ග්‍රහයෙන් ගත් ඉන්දීය පන්දු යවන්නෝ, බැංගලූරු නුවරදී අද (12 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවීමට පෙර ලකුණු 86 ක් ඇතුළත සංචාරක පිතිකරුවන් 6 දෙනකු ආපසු ක්‍රීඩාගාරයට යැවූහ.

ඉන්දියානුවන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෙල සිරකරගෙන සිටින්නේ සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 252 ක් ලබාගැනීමෙන් පසුවය.

කඩුලු 16 ක් බිඳවැටී ඇතත් තරගයේ තවමත් අවසන් වී ඇත්තේ එක දිනයක් පමණි. හෝරා දෙකකට ආසන්න කාලයක් තිස්සේ ඉන්දියානුවන් හමුවේ යටත් නොවී සිටි ඇන්ජලෝ මැතිව්ස් (43) සහ නිරෝෂන් දික්වැල්ල (නොදැවී 13) සටනට වැද සිටියහ. එහෙත් අද දින ක්‍රීඩාව නිමාවීමට ඕවර දෙකක් තිබියදී මැතිව්ස් ගැසූ පහරකින් උඩපන්දුවක් උදුරාගත් ඉන්දීය නායකයා, මැතිව්ස් ආපසු ක්‍රීඩාගාරයට යැවූයේ මෙම තරගයත් කලින්ම අහවර කරගැනීමේ අභිලාෂයෙනි.

ඉන්දීය කණ්ඩායම සම්පූර්ණයෙන්ම දවාගත් නමුත් පමණ ඉක්මවා යැවූ දුර්වල පන්දු සංඛ්‍යාව නිසා ඉන්දීය පිතිකරුවෝ හතරේ පහර 28 ක් සහ හයේ පහර 6 ක් ඉනිමට එකතු කළහ. එහි ප්‍රතිඵලය ලෙසින් ඉන්දීය පිලේ ලකුණු 252 න් 148 ක් පැමිණියේ හතරේ සහ හයේ පහර වලිනි.

ශ්‍රී ලාංකිකයන්ගේ පාලනයකින් තොර පන්දු යැවීමෙන් කදිම ප්‍රයෝජන ගත් ශ්‍රෙයාස් අයියර්, අනුකම්පා විරහිත පිතිහරඹයක යෙදෙමින් පන්දු 98 කදී ලකුණු 92 ක් ලබාගත්තේ හතරේ පහර 10 ක් සහ හයේ පහර 4 ක් සිය ඉනිමට ඇතුළත් කරමිනි. පිතිකරුවන්ට භීතිය කැන්දන තණතීරුවකදී සිය ශතකය පසෙක දමා ලකුණු සොයාගිය ඉන්දීය මැදපෙළ පිතිකරුවා, ප්‍රවීන් ජයවික්‍රමගේ පන්දුවක් හමුවේ ස්ටම්ප් කිරීමකට ගොදුරු වීමෙන් දැවී ගියේය.

අංශක 60 කට පන්දුව කැරකෙන චින්නස්වාමි තණතීරුවේදී ඉන්දියානුවන් ලබාගත් ලකුණු 252 වටිනාකම එහි අංක වලින් කියැවෙන ප්‍රමාණයට වඩා බොහෝ ඉහළය. අයියර් ලබාගත් ලකුණු 92 වටිනාකමත් එලෙසමය.

ඉන්දීය නායක රෝහිත් ෂර්මා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් නමුත් ශ්‍රී ලංකාවේ දඟ පන්දු යවන්නන් තිදෙනා වන ලසිත් ඇඹුල්දෙණිය, ප්‍රවීන් ජයවික්‍රම සහ ධනංජය ද සිල්වා එක්ව ඉන්දීය පිතිකරුවන් මෙල්ලකර ගත්හ. එහෙත් කඩුලු 8 ක් බෙදා හදාගත් මෙම පන්දු යවන්නන් තිදෙනාගෙන් ඉන්දියානුවන් උදුරාගත් ලකුණු සංඛ්‍යාව 207 කි.

නිසි ඉලක්කයකින් මෙන්ම පාලනයකින් තොර පන්දු යැවීම හේතුවෙන් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ තිදෙනාම තමන්ට අත්කරගත හැකිව තිබූ ඉතාම වාසිදායක තත්ත්වයක් අපතේ යැවූහ.

අද දින තේ පානය සඳහා ක්‍රීඩාව නතර කරන විට ඉන්දීය කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 93 ක් ලබා සිටියේය. මුහුණ දුන් තුන්වැනි පන්දුවේදීම රිෂාබ් පාන්ට් දුන් උඩපන්දුව රැකගැනීමට මිඩ් විකට්හි සිටි සුරංග ලක්මාල්ට හැකිවූයේ නම් ඉන්දීය පිලේ පස්වැනි කඩුල්ලත් තේ පානයට පෙර බිම දාගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට තිබිණ.

හනුමා විහාරී පිටියේ සිටියදී ඉන්දීය ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 2 කට ලකුණු 76 ක් ලෙසිනි. එම අවස්ථාවේදී ජයවික්‍රමගේ පන්දුවක් හනුමා විහාරිගේ පිත්තේ යාන්තමින් වැදී යද්දී, කඩුලු රකින්නා වූ නිරෝෂන් දික්වැල්ල විසින් දෙවරක් උත්සාහ කර රැකගනු ලැබීමෙන් පසුව ඉන්දීය පිතිකරුවෝ පසුපාදයට වන්හ. එහෙත් ශ්‍රෙයාස් අයියර්ගේ ප්‍රචණ්ඩ ඉනිම නිසා ඉන්දියානුවෝ තරගයේ පාලනය අතට ගත්හ.

බුද්ධිමත් මෙන්ම උපායශීලී නායකත්වයක් පෙන්නුම් කළ දිමුත් කරුණාරත්න, සිය අතිරේක දඟ පන්දු යවන්නා වන ධනංජය ද සිල්වා කැඳවමින් විරාට් කෝලි පිටියෙන් ඉවත් කරගත්තේය. එතෙක් වේලා වමත් පා දඟ පන්දු යවන්නන් දෙදෙනකුට මුහුණ දෙමින් සිටි විරාට් කෝලිට හදිසියේම පැමිණි පිට දඟ පන්දු යවන්නාගේ පන්දුව පහතින් ඇදී එද්දී කළ යුතු දෑ අමතක වූයේය. කෝලිගේ පා ආවරණයේ පන්දුව වැදීමත් සමගම විනිසුරුවරයාගේ දබරැඟිල්ල ඉහළට ගියෙන් නිරුත්තර වූ කෝලි විනාඩියක් පමණ අන්ද මන්දව සිටි නමුත් කිසිවක් නොකියාම ආපසු ක්‍රීඩාගාරයට ගියේය. කෝලිගේ නමට ඉදිරියෙන් සටහන් වූයේ ලකුණු 23 ක් පමණි.

කාසියේ වාසිය දිනාගැනීමෙන් පසුව පළමුව පන්දුවට පහරදීම තෝරාගත් රෝහිත් ෂර්මා කීවේ මෙම තරගයේදී තමන් අනුකම්පාව අතහැර දමන බවයි.

“මේක ටිකක් වියළි ස්වභාවයේ තණතීරුවක්. පුළුවන් තරම් ලකුණු සංඛ්‍යාවක් එකතු කරගන්නා එක තමයි වැදගත්. ඒ නිසා අපි අනුකම්පාව ගැන නම් හිතන්නේ වත් නෑ.” යයි රෝහිත් ෂර්මා පැවසීය.

කුසල් මෙන්ඩිස් සහ ප්‍රවීන් ජයවික්‍රම නැවතත් කණ්ඩායමට කැඳවමින් ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට පිවිසියේය. වසරක තහනමට මුහුණ දීමෙන් පසුව කුසල් මෙන්ඩිස් සහභාගි වන පළමු ටෙස්ට් තරගය වන්නේද මෙයයි.

තරගාවලියේ පළමු තරගය පරාජය වී සිටින බැවින් අද (12 වැනිදා) ආරම්භ වූ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පීඩනයට පත්ව සිටී. මෙම තරගය ජයගත නොගතහොත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය පරාජය වන ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් ලෝක ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පස්වැනි ස්ථානය දක්වා ඇද වැටෙනු ඇත.

මොහාලි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 222 කින් ජයගත් ඉන්දීය කණ්ඩායමේ සිටි ජයාන්ත් යාදව් වෙනුවට අක්ෂර් පටේල් එක්වී සිටී. ඉන්දියාව, මීට පෙර ඉන්දියාවේදී පැවැති දිවා/රාත්‍රී තරග දෙකම පහසුවෙන් ජයගෙන තිබේ. එහෙත් වසර 2020 දී ඇඩිලේඩ් නුවරදී පැවැති දිවා/රාත්‍රී තරගය ඉන්දියානුවෝ පරාජය වූහ.

දිමුත් කරුණාරත්න කීවේත් තණතීරුව වියළි බැවින් තරගයේ ඉදිරි දින කිහිපයේදී එය තියුණු අන්දමින් දඟ කැවෙනු ඇති බවයි.

“ඒක හින්දාම අපිත් පළමුවෙන් පන්දුවට පහර දෙන්න තමයි හිටියේ. ඒත්... ” යයි දිමුත් කරුණාරත්න පැවසීය.

ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාවේදී පැවැති ටෙස්ට් තරග ජයගෙන ඇතත් 1982 සිට මේ දක්වාම ඉන්දියාවේදී ටෙස්ට් තරගයක් ජයගෙන නැත.

නරඹන්නන් 40,000 කට ආසන පහසුකම් ඇති චින්නස්වාමි ක්‍රීඩාංගණය සම්පූර්ණයෙන්ම ප්‍රේක්‍ෂකයන්ට විවෘත කර තිබේ.


අදහස් (0)

ශ්‍රී ලංකාවේ ගෙල සිරවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.