බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා තේරීමේ තරගයේ 37 වැනි අදියරේ සම්මාන ප්‍රදානෝත්සවය සිකුරාදා (11 වැනිදා) පස්වරුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. ගාල්ල රිච්මන්ඞ් විදුහල් කණ්ඩායමේ නායක චරිත් අසලංක පිට පිටම දෙවැනි වරටත් බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් ක්‍රීඩකයා ලෙස කිරුළ පැළදීමට නියමිතය. චරිත් අසලංක ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමේද නායකත්වය දැරූ පිතිහරඹයට මෙන්ම පන්දු යැවීමටද සහ පන්දු රැකීමටත් දස්කම් දක්වන ක්‍රීඩකයෙකි.
මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වන රොෂාන් මහානාම මහතා විසින් චරිත් අසලංකට හිමි සම්මානය පිරිනමනු ලැබීමට නියමිතය. පසුගිය වසරේදී චරිත් අසලංක මෙම සම්මානය ලබාගත්තේ ශ්‍රී ලංකා ටෙස්ට් පිලේ මෙතෙක් සිටි සාර්ථකම වේග පන්දු යවන්නා වූ චමින්ද වාස් අතිනි.
1996 ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයකු මෙන්ම අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ හිටපු තරග තීරකවරයකුද වන රොෂාන් මහානාම මහතා, 1983 සහ 1984 වසර වලදී කොළඹ නාලන්දා විදුහල නියෝජනය කරමින් පිට පිටම දෙවරක්ම බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනා තිබේ. බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් ක්‍රීඩකයාට හිමි සම්මානය දෙවරක් දිනාගත් සිව්වැනියා ලෙසද එම කුසලාන පිට පිටම දෙවරක් දිනාගත් තෙවැනියා ලෙසද චරිත් අසලංක වාර්තා අතරට එක් වෙයි.
මහානාමට සහ චරිත් අසලංකට අමතරව 1996 ලෝක ශූර ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග, කොළඹ ආනන්ද විදුහල නියෝජනය කරමින් 1980 සහ 1982 වසර වලදී බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් ක්‍රීඩකයා ලෙස සම්මානය දිනා ඇති අතර ආනන්දයේම තිලාන් සමරවීර 1994 සහ 1995 වසර වලදී බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් ක්‍රීඩකයා සම්මානය දිනා තිබේ.
වසරේ පාසල් ක්‍රීඩකයා සම්මානයට අමතරව මේ වසරේ දක්ෂතම පාසල් පිතිකරුවා සම්මානයද දිනාගැනීමට චරිත් අසලංක සමත් වෙද්දී, ශ්‍රී ලංකා වයස 19 න් පහළ කණ්ඩායමේ උප නායක සම්මු අශාන් (කොළඹ ආනන්ද විදුහල) දෙවැනි දක්ෂතම පිතිකරුවා බවට පත් වී තිබේ. ඉකුත් වසරේ (2015) පැවැති බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ පාසල් ක්‍රීඩකයා තේරීමේ තරගාවලියේදී දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා සම්මානය සහ දක්ෂතම පන්දුයවන්නා අනුශූරතාව හිමිකරගැනීමටද අසලංක සමත් විය.
මේ වසරේ පාසල් ක්‍රීඩකයා අනුශූරතාව ආනන්ද විදුහලේ සම්මු අශාන්ට හිමිවී ඇති අතර එහි තෙවැනි ස්ථානය අත්කර ගැනීමට කටුනේරිය ශාන්ත සෙබස්තියන් විදුහලේ අසිත ප්‍රනාන්දු සමත් වී තිබේ. මෙම තිදෙනාම වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ඉහළ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෝ වෙති.
ධර්මාලෝක විද්‍යාලයේ රසිත් උපමාල් ඩයස් මේ වසරේ නැගීඑන පාසල් ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය හිමිකරගෙන තිබේ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.