Last Update  :  2025-07-17 21:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ලක්නව් ක්‍රීඩකයෝ හඹාගොස් ජය ලබති

ලක්නව් ක්‍රීඩකයෝ හඹාගොස් ජය ලබති

editorial - 2023 අප්‍රේ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 15 වැනි තරගයේදී රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායමට එරෙහිව කඩුල්ලක තියුණු ජයක් වාර්තා කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම ඊයේ (10 වැනිදා) සමත් විය. මෙවර තරගාවලියේදී ඔවුන් ලැබූ තෙවැනි ජය මෙය වූ අතර මෙම ජයග්‍රහණයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමටද ලක්නව් කණ්ඩායමට හැකි විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 213 ක දැවැන්ත ඉලක්කයක් හඹාගිය ලක්නව් ක්‍රීඩකයෝ, කඩුලු 9 ක් දැවී අවසන් පන්දුවේදී එම ඉලක්කය සපුරාගත්හ. මෙවර තරගාවලියේදී ක්‍රීඩකයකු ලබාගත් වේගවත්ම අර්ධ ශතකයේ හිමිකරුවා බවටද පත්වෙමින් හයේ පහර 7 ක් සහ හතරේ පහර 4 ක් සමග පන්දු 19 කින් ලකුණු 62 ක් රැස්කළ නිකලස් පූරන් තරගයේ වීරයා බවට පත් විය. 

අයුෂ් බදෝනි (30) සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 35 කදී ලකුණු 84 ක වේගවත් සම්බන්ධතාවක් පිහිටුවීමටද පූරන් සමත් වූ අතර පන්දු 24 කදී වාර්තා වූ බදෝනිගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් විය. පන්දු 30 කට මුහුණදුන් මාකස් ස්ටොයිනිස් හයේ පහර 5 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 65 ක් රැස්කරමින් ජයග්‍රහණය සඳහා අඩිතාලම දැමුවේය. 

මෙහොමඩ් සිරාජ් ලකුණු 22 කට කඩුලු 3 ක්ද, වේන් පනේල් ලකුණු 41 කට කඩුලු 3 ක්ද බිඳහෙළීමට සමත් වූ නමුත් බැංගලෝර් කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට ඔවුන්ට නොහැකි වූහ. එහිදී කඩුලු 2 ක් දවාගැනීමට හර්ෂාල් පටේල් සමත් වෙද්දී ඔහුගේ ඕවර 4 න් ලකුණු 48 ක් උදුරාගැනීමට ලක්නව් පිතිකරුවෝ සමත් වූහ. 

පළමුවෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 2 ක් දැවී ලකුණු 212 ක් රැස්කළ අතර එහිදී බැංගලෝර් කණ්ඩායමේ මුල් පිතිකරුවන් තිදෙනාම අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ. නායකත්වයේ පිතිහරඹයක නිරත වූ ෆෆ් ඩුප්ලෙසී පන්දු 46 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 79 ක් රැස්කළේය. 

විරාට් කෝලි (61) සමග එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 69 කදී ලකුණු 96 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඩුප්ලෙසි, ඉන් නොනැවතී ග්ලේන් මැක්ස්වෙල් (59) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 50 කදී ලකුණු 115 ක දැවැන්ත සම්බන්ධතාවක්ද ගොඩනගමින් බැංගලෝර් ඉනිමේ ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට ගෙන ගියේය. 

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් - ඕවර 20 කඩුලු 2 කට 212 
(විරාට් කෝලි 61, ෆෆ් ඩුප්ලෙසි නොදැවී 79, ග්ලේන් මැක්ස්වෙල් 59) 

ලක්නව් සුපර් ජයන්ට්ස් - ඕවර 20 කදී කඩුලු 9 කට 213 
(ලෝකේෂ් රාහුල් 18, මාකස් ස්ටොයිනිස් 65, නිකලස් පූරන් 62, අයුෂ් බදෝනි 30, මෙහොමඩ් සිරාජ් 22/3, වේන් පනේල් 41/3, හර්ෂාල් පටේල් 48/2) 

-036


අදහස් (0)

ලක්නව් ක්‍රීඩකයෝ හඹාගොස් ජය ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.