
(දමින්ද විජේසූරිය ගාල්ල ක්‍රීඩාංගණයේ සිට)
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමට අපේක්ෂිත ලකුණු සංඛ්‍යාව කරා යා නොහැකි විය. එහෙත් අනපේක්ෂිත ලෙසිත් තරගයට පිවිසි ප්‍රභාත් ජයසූරිය සහ කසුන් රාජිත දෙදෙනා ලකුණු 21 ක් තුළදී පාකිස්තානු කඩුලු දෙකක්ම බිම දමාගත්හ.
තරගයේ පළමු දිනය වූ අද (16 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට පාකිස්තානු කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 24 ක් ලබා සිටියේය.
කසුන් රජිත සහ ප්‍රභාත් දෙදෙනා විසින් වේලාසනින්ම පිතිකරුවන් දෙදෙනකු දවාගැනීම හේතුවෙන් ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු දෙක වෙනුවෙන් එක්වූ ලකුණු 89 වටිනාකම දෙගුණයකින් වැඩිවී තිබේ. මක්නිසාද යත් පාකිස්තානුවන් තවමත් ශ්‍රී ලංකාවට වඩා ලකුණු 198 ක් ඈතින් සිටින බැවිනි.
ශ්‍රී ලංකා පිලේ ඉදිරිපෙළ පිතිහරඹය එහෙම පිටින්ම අසාර්ථක වූයේ පස්වැනි කඩුල්ලත් ලකුණු 99 දී ඇද වැටීමෙනි. එහෙත් නැවත වරක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ගැලවුම්කාරයා වූ දිනේෂ් චන්දිමාල්, අගනා පිතිහරඹයක නිරත වෙමින් මුලු ලකුණු සංඛ්‍යාව 177 දක්වා තල්ලු කරගෙන ගියේය. 9 වැනි කඩුල්ල වෙනුවෙන් චන්දිමාල් සහ මහීෂ් තීක්ෂණ දෙදෙනා එක්කළ ලකුණු 44 න් ලකුණු 35 ක් චන්දිමාල්ගේ විය. පසුව මහීෂ් තීක්ෂණ සහ කසුන් රාජිත දෙදෙනා ද 10 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 45 ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි හොඳම සම්බන්ධතාව වූයේය.
දිවා ආහාරයෙන් පසුවත්, කඩුලු 4 ක් බිඳ වැටුණු හෙයින් පාකිස්තානුවෝ සටනකින් තොරවම තරගයේ ග්‍රහණය සියතට ගෙන සිටියහ. එහෙත් සටනක අත් නොහළ යුද හමුදා මේජර් දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකාව වෙනුවෙන් හුදෙකළ සටනක නිරත වී සිටියේය. 8 වැනි කඩුල්ලත් ලකුණු 133 දී බිඳ වැටීමෙන් පසුව ඉනිමේ බර තනිවම කරට ගත් දිනේෂ් චන්දිමාල් පිට පිටම ගැසූ හතරේ පහර 3 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළේය.
මාස 11 කට පසුව ටෙස්ට් පිටියට පිවිසි යසීර් ෂා, කදිම පුනරාගමනයක යෙදෙමින් ලකුණු 66 ක් දෙමින් ශ්‍රී ලංකාවේ ප්රබලතම පිතිකරුවන් දෙදෙනකු ආපසු ක්‍රීඩාගාරයට යැවීය. විනාශකාරයා වූ ශහීන් ෂා අෆ්රීඩි ලකුණු 58 කට ලබාගත් කඩුලු 4 අතරේ දිමුත් කරුණාරත්න, ධනංජය ද සිල්වා මෙන්ම නිරෝෂන් දික්වැල්ලත් සිටියහ.






ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.