Last Update  :  2025-06-09 18:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රාගමට අතේ දුරින් තිබූ ජය සුධාර උදුරාගනී
බී - තලයේ විස්සයි20 තරගාවලිය

රාගමට අතේ දුරින් තිබූ ජය සුධාර උදුරාගනී

editorial - 2025 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

තරගය ජයගැනීමට අවශ්‍යව තිබුණේ ලකුණු 6 කි. ඉතිරිව තිබුණේ පන්දු 4 කි. මුහුණ දුන් එකම පන්දුවට හයේ පහරක් ගැසූ සුධාර දක්‍ෂිණ, ‘බී’ තලයේ විස්සයි-20 තරගාවලියේ අවසන් මහ තරගය දක්වා මැලේ ක්‍රිකට් සමාජය කැඳවාගෙන ගියේය. අවසන් ඕවර 6 න් ලකුණු 66 ක් උදුරාගත් පුලස්ති අතපත්තු (38) සහ තිමිර මල්ෂාන් (නොදැවී 42) දෙදෙනාගේ අප්‍රතිහත ධෛර්යය හමුවේ රාගම ක්‍රීඩා සමාජයේ කොෂාන් ජයවික්‍රම (පන්දු 22 න් ලකුණු 43) සහ විකුම් සංජය (පන්දු 7 න් ලකුණු 25) දෙදෙනාගේම උත්සාහය වතුරේ ගියේය. 

කොළඹ එස්.එස්.සී. පිටියේදී අද (7 වැනිදා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී රාගම ක්‍රිකට් සමාජය කඩුලු 3 කින් පරාජය කරමින් මැලේ ක්‍රීඩා සමාජය 9 වැනිදා පැවැත්වෙන ‘බී’ තලයේ විස්සයි-20 තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේය. කොළඹ කෝල්ට්ස් පිටියේදී 9 වැනිදා පැවැත්වෙන අවසන් තරගයේදී එස්.එස්.සී. කණ්ඩායම සහ මැලේ ක්‍රීඩා සමාජය තරග වදිනු ඇත. 

කාසියේ වාසිය දිනාගත් මැලේ ක්‍රීඩකයෝ පැකිළීමකින් තොරවම පන්දු යැවීම තෝරා ගත්හ. එහෙත් ඕවරයකදී ලකුණු 10 කට ආසන්න වේගයක් පවත්වාගෙන ගිය රාගම පිතිකරුවෝ, 8 වැනි ඕවරය නිමාවීමටත් පෙරම ලකුණු 70 ක් පුවරුවට එකතු කළහ. මැද පෙළ තරමක් කඩා වැටුණ නමුත් කොෂාන් ජයවික්‍රම සහ විකුම් සංජය එක්ව පන්දු 29 කින් ලකුණු 68 ක් රාගම පිලට එකතු කළ බැවින් ලකුණු පුවරුව 170 ක් දක්වා ඉහළ ගියේය. 

ලකුණු 171 ක ඉලක්කයක් කරා යද්දී 14 වැනි ඕවරය නිමා වන විටත් මැලේ ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු 6 ට 105 ක් ලෙසිනි. එහෙත් එතැන් සිට යැවුණු ඕවර හයකදී ලබාගත් ලකුණු සටහන් වූයේ, 9, 9, 13, 7, 18 සහ 10 ක් ලෙසිනි. 

බිනුර ප්‍රනාන්දු ඕවර 3 කින් ලකුණු 16 කට කඩුලු 2 ක් දවාගෙන සිටියද, පුලස්ති අතපත්තු සහ තිමිර මල්ෂාන් දෙදෙනාගේ ප්‍රහාරය නිසා බිනුරගේ පන්දු යැවීම අවසන් වූයේ ඕවර 4 කින් ලකුණු 34 ට කඩුලු 2 ක් ලෙසිනි. 

විකුම් සංජය විසින් යවන ලද රාගම ඉනිමේ අවසන් ඕවරයේ පළමු පන්දුව වයිඩ් පන්දුවක් වූ නමුත් එයින් පුලස්ති අතපත්තු දුවද්දී දැවී ගියේය. අනතුරුව යැවුණු පන්දු දෙකට ලකුණු 2 ක් සහ 1 ක් ලබාගැනීමට තිමිර මල්ෂාන් සමත් වූයෙන් නවක පිතිකරු සුධාර දක්‍ෂිණ පිතිකරුවාගේ අන්තයට පිවිසියේය. 

මුහුණ දුන් එකම පන්දුව හතරේ සීමාවට ඉහළින් යැවූ සුධාර, තම කණ්ඩායම අවසන් මහ තරගය කරා කැඳවාගෙන ගියේ පන්දු 3 ක් ඉතිරිව තිබියදීය. 


රාගම ක්‍රිකට් සමාජය - ඕවර 20 කදී කඩුලු 7 ට 170 යි
(උමේෂ් කසුන් 17, සමීන් කඳනාරච්චි 42, රමිත් ජයසේන 16, කවිඳු රණසිංහ 11, කොෂාන් ජයවික්‍රම නොදැවී 43, විකුම් සංජය 25, සුධාර දක්‍ෂිණ 23/2, කාවින්ද ඊෂ්වර 14/2)

මැලේ ක්‍රිකට් සමාජය - ඕවර 19.3 කදී කඩුලු 7 ක් දැවී 171 යි
(කාවින්ද ඊෂ්වර 13, කෙවින් සැමුවෙල් 14, බුද්ධික හසරංග 23, පුලස්ති අතපත්තු 38, වෝෂිත අමරසිංහ 15, තිමිර මල්ෂාන් නොදැවී 42, බිනුර ප්‍රනාන්දු 34/2, උපුල් ඉන්ද්‍රසිරි 26/3)


අදහස් (0)

රාගමට අතේ දුරින් තිබූ ජය සුධාර උදුරාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.