Last Update  :  2025-09-13 22:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මොරටුව ශාන්ත සෙබස්තියන් - කොළඹ රාජකීය සම ශූරයෝ වෙති
19න් පහළ ක්‍රිකට් - 2024/25

මොරටුව ශාන්ත සෙබස්තියන් - කොළඹ රාජකීය සම ශූරයෝ වෙති

editorial - 2025 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අනුග්‍රහය ඇතිව සංවිධානය කරනු ලැබූ වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ‘ඒ‘ තලයේ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ සම ශූරයෝ ලෙසින් මොරටුව ශාන්ත සෙබස්තියන් සහ කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩකයෝ අභිෂේක ලැබූහ. පසුගිය සඳුදා සිට කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් තරගයේ පළමු ඉනිමේ ලකුණු සමවීමෙන් දෙපිලටම සම ශූරතාව හිමිවිය.

අවසන් තරගය ජය පරාජයෙන් තොරව නිමාවිය.

අවසන් තරගයේ දී කාසියේ වාසිය හිමිකරගත් මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් කොළඹ රාජකීය විද්‍යාලයේ පළමු ඉනිම පන්දුවාර 87.2 කදී ලකුණු 201කට සීමා කිරීමට මලින්ත සිල්වා සහ නායක රයන් දිසානායක ඇතුළු සෙබස්තියන් පන්දු යවන්නෝ සමත්වූහ. 

රාජකීය පිල වෙනුවෙන් අංක 8 පිතිකරු දුෂේන් උඩවෙල පන්දු 133කදී හතරේ පහර 3 ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 46 ක් රැස් කළේය. දුෂේන් උඩවෙල සහ සඳුල් අබේවර්ධන (16) තම අවසන් කඩුල්ලට ලකුණු 40ක අගනා සම්බන්ධතාවයක් ගොඩනගමින් රාජකීය ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට ගෙන ගියහ.  මලින්ත සිල්වා ලකුණු 37කට කඩුලු 4ක් දවාලූ අතර, නායක රයන් දිසානායක ලකුණු 62කට කඩුලු 4ක් දවාලීය. ෂෙනාස් හෂේන් ද ලකුණු 37කට කඩුලු 2ක් දවාලීය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ ආරම්භක පිතිකරුවෝ දෙදෙනා සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. එහෙත් රාජකීය පන්දු යවන්නන්ගේ පීඩනය හමුවේ ඕවර 97.5 කදී ශාන්ත සෙබස්තියන් ක්‍රීඩකයෝත් ලකුණු 201 කට දැවී ගියහ.

ශා. සෙබස්තියන් ආරම්භක පිතිකරු කවීෂ පෙරේරා පන්දු 147කදී හතරේ පහර 9ක් සමඟින් ලකුණු 56 ක් රැස් කළේය. නායක රයන් දිසානායක ද ඊට නොදෙවනි පිතිහරඹයක නිරතවෙමින් පන්දු 148 කදී හතරේ පහර 4ක් සමඟින්  නොදැවී ලකුණු 47ක් ලබාගත්තේය.

කවීෂ පෙරේරා සහ ලෂේන් ප්‍රනාන්දු පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 50ක සම්බන්ධතාවයක් ගොඩනැංවීමට සමත්වූවද ඉන් පසුව කඩුලු අතර ඉහළ ලකුණු සම්බන්ධතා දක්නට නොලැබිණ. දඟ පන්දුවෙන් දස්කම් දැක්වූ සඳුල් අබේවර්ධන ලකුණු 78 කට කඩුලු 5ක් දවාලූ අතර, දුෂේන් උඩවෙල ලකුණු 57 කට කඩුලු 3ක් දවාලීය.

දෙවැනි දිනය නිමාවන විට කිසිවකු නොදැවී ලකුණු 14ක් රැස්කළ රාජකීයයෝ තම දෙවැනි ඉනිම වෙනුවෙන් තරගය නතර කරන විට ඕවර  94 කදී කඩුලු 9 ක් පමණක් දැවී ලකුණු 252ක් රැස් කර තිබිණ. එහෙත් තරගයේ විස‍ඳුමක් නොතිබුණෙන්, මුල් ඉනිමේ ලකුණු සමවීම මත දෙපිලටම සම ශූරතාව ප්‍රදානය කෙරිණ.

දෙවැනි ඉනිමේදී රාජකීය නායක රෙහාන් පීරිස් පන්දු 140 කදී හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 65ක් රැස් කළේය.  පළමු ඉනිමේදී මෙන්ම පන්දුවෙන් දස්කම් දැක්වූ මලින්ත සිල්වා ලකුණු 56 කට කඩුලු 5ක් දවාලීය.   

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කාන්තා ක්‍රිකට් කළමනාකරු රොෂාන් බියන්විල, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති විරාජිත් කඩවැද්දුව, අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය අධ්‍යක්ෂ (ක්‍රීඩා) සහ බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ උපාලි අමරතුංග, මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයේ විදුහල්පති දර්ශන පෙරේරා පියතුමා. කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති අතුල නානායක්කාර, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ ලේකම් ලීලානන්ද කුමාරසිරි, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට්

සංගමයේ භාණ්ඩාගාරික ඩී.එම්. රාජරත්න සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ වයස අවුරුදු 19න් පහළ තරගාවලි ලේකම් කණිෂ්ක පෙරේරා යන මහත්වරු මෙම තරගාවලියේ ජය සංකේත ප්‍රදානයට සහභාගී වූහ.

 

කොළඹ රාජකීය විද්‍යාලය - පළමු ඉනිම  201

(දුෂේන් උඩවෙල නොදැවී 46, තරුල් අම්පෙමොහොට්ටි 31, ඉසුල ගීගනගේ 29, සෙහදු සූරියආරච්චි 20, සඳුල් අබේවර්ධන 16, රෙහාන් පීරිස් 15, මලින්ත සිල්වා 37/4, රයන් දිසානායක 62/4, ෂෙනාස් හෂේන් 37/2)

 

මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලය - පළමු ඉනිම 201

(කවීෂ පෙරේරා 56, රයන් දිසානායක නොදැවී 47, අදේෂ් අල්මේදා  25,  ලෂේන් ප්‍රනාන්දු  22,  සඳුල් අබේවර්ධන 78/5, දුෂේන් උඩවෙල 57/3

 

කොළඹ රාජකීය විද්‍යාලය -  දෙවැනි ඉනිම කඩුලු 9 ට 252 යි

(රෙහාන් පීරිස් 65, හිරුන් ලියනාරච්චි 47, දුෂේන් උඩවෙල 46, රනුක මලවිආරච්චි නොදැවී 28,  උදන්ත ගඟේවත්ත 23, මලින්ත සිල්වා 56/5)


අදහස් (0)

මොරටුව ශාන්ත සෙබස්තියන් - කොළඹ රාජකීය සම ශූරයෝ වෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.