Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මාලිංග මූලික සංචිතයෙනුත් ඉවතට

මාලිංග මූලික සංචිතයෙනුත් ඉවතට

රොෂාන් ගුණරත්න - 2018 පෙබ මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නිදහස් කුසලාන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ක්‍රීඩකයන් 20 දෙනකුගෙන් සමන්විත මූලික සංචිතයටද වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඇතුළත් නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.


මේ දිනවල පැවැත්වෙන පළමු පෙළ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේදී එන්.සී.සී. කණ්ඩායමට ක්‍රීඩා කරන මාලිංග, මේ දක්වා පැවැති තරග වලදී ලකුණු 85 කට කඩුලු 8 ක් දවාගෙන සිටියි. එහිදී පොලිස් කණ්ඩායමට එරෙහිව ලකුණු 31 කට කඩුලු 3 ක්ද, බී.ආර්.සී කණ්ඩායමට එරෙහිව ලකුණු 24 කට කඩුලු 3 ක්ද, කළුතර කණ්ඩායමට එරෙහිව ලකුණු 30 කට කඩුලු 2 ක්ද දවාගැනීමට ඔහු සමත් විය.


කෙසේ වුවත් තේරීම් කමිටුවේ මතය වන්නේ නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමට තෝරා ගැනීමට තරම් දක්ෂතාවක් ඔහු ප්‍රදර්ශනය කර නොමැති බවත්, ඒ සඳහා ඔහු තවත් දේශීය තරග කිහිපයකට ක්‍රීඩා කළ යුතු බවත්ය.


බංග්ලාදේශය සහ සිම්බාබ්වේ සමග පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේදී පාදයේ ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස්ට සිය ආබාධ තත්ත්වය පූර්ණ වශයෙන් සුවවී නොතිබීම නිසා මෙම තරගාවලියද අහිමිවී තිබේ. ඒ අනුව බංග්ලාදේශයට එරෙහිව පැවැති විස්සයි20 තරගාවලිය 2-0 ක ජයග්‍රහණයක් කරා මෙහෙයවූ දිනේෂ් චන්දිමාල් නිදහස් කුසලාන තරගාවලියේදීද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරනු ඇත.


බංග්ලාදේශ තරගාවලියට ක්‍රීඩා කළ ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් නොවූ සුරංග ලක්මාල්, සධීර සමරවික්‍රම, ළහිරු කුමාර, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර සහ ධනංජය ද සිල්වා යන ක්‍රීඩකයන්ද නිදහස් කුසලාන තරගාවලිය සඳහා නම් කරන ලද මූලික සංචිතයට ඇතුළත් කර තිබේ. එහෙත් අසේල ගුණරත්නට සහ ෂෙහාන් මධුෂංකට විවිධ ආබාධ හේතුවෙන් එම තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමි වී තිබේ.


මෙම මූලික සංචිතයට ක්‍රීඩකයන් 20 දෙනෙක් ඇතුළත් කර තිබුණද, තරගාවලියට සහභාගි විය හැක්කේ ක්‍රීඩකයන් 15 දෙනකුට පමණක් බැවින් අවසන් 15 දෙනාගේ සංචිතය හෙට (28 වැනිදා) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.


මාර්තු මස 6 වැනිදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරගයෙන් නිදහස් කුසලාන තරගාවලිය ආරම්භ වන අතර එහි අවසන් මහ තරගය පැවැත්වෙන්නේ 18 වැනිදාය. තරගාවලියේ සෑම තරගයක්ම පස්වරු 7.00 සිට කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වේ.


ශ්‍රී ලංකා සංචිතය
දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දසුන් ශානක, කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස්, සුරංග ලක්මාල්, නිරෝෂන් දික්වැල්ල, සධීර සමරවික්‍රම, ඉසුරු උදාන, ජෙෆ්රි වැන්ඩසේ, අකිල ධනංජය, අමිල අපොන්සු, අසිත ප්‍රනාන්දු, ළහිරු කුමාර, නුවන් ප්‍රදීප්, දුෂ්මන්ත චමීර සහ ධනංජය ද සිල්වා

 


අදහස් (0)

මාලිංග මූලික සංචිතයෙනුත් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.