Last Update  :  2026-03-15 19:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket පිටියේ කලබගෑනිය අවසානයේදී ජය ත්‍රිත්ව විදුහලට ප්‍රදානය කරයි

පිටියේ කලබගෑනිය අවසානයේදී ජය ත්‍රිත්ව විදුහලට ප්‍රදානය කරයි

editorial - 2026 මාර් මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

අස්ගිරිය ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී සෙනසුරාදා (14 වැනිදා) නිමාව දුටු 107 වැනි කන්ද උඩරට නිල් මහා ක්‍රිකට් තරගයේ ජය ත්‍රිත්ව විදුහලට ප්‍රදානය කිරීමට විනිසුරුවරු තීරණය කළහ.  ත්‍රිත්ව විදුහල තරඟයේ ජය පෙනෙන මානයට පැමිණි විට ශාන්ත අන්තෝනි ක්‍රීඩකයන් ක්‍රීඩාවේ ජීව ගුණයට නොගැළපෙන ආකාරයට හැසිරීම හේතුවෙන් ත්‍රිත්ව විදුහලට එම තරඟයේ ජය ප්‍රදානය කිරීමට විනිසුරුවරු තීරණය කළහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශාන්ත අන්තෝනි ක්‍රීඩකයෝ පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබාගනු ලැබුවේ ලකුණු 157 ක් පමණි. පිළිතුරු වශයෙන් ත්‍රිත්ව පිතිකරුවෝ පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවි ලකුණු 264 ක් ලබා ගත්හ.

ශාන්ත අන්තෝනි ක්‍රීඩකයන්  ලකුණු 107 ක් පිටුපසින් සිටිමින් දෙවැනි ඉනිම ආරම්භ කළත් දෙවැනි ඉනිම සඳහා ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 170 ක් පමණි.

ලකුණු 64 ක ජයග්‍රාහි ඉලක්කයක් කරා යාම සඳහා පිටියට පිවිසි ත්‍රිත්ව ක්‍රීඩකයන් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 63 ක් ලබා සම ලකුණු මට්ටමේ සිටියදී පිරිසක් ක්‍රීඩා පිටියට කඩා වැදීම හේතුවෙන් තරඟය මඳකට නවත්වා දෙපිලේම ක්‍රීඩකයන්ට ක්‍රීඩාගාර කරා යාමට සිදුවිය.

ක්‍රීඩාංගණයේ පැවති තත්ත්වය පාලනය කිරීමෙන් පසුව ජයග්‍රහණය සඳහා ඉතිරි ලකුණ ලබා ගැනීමට ත්‍රිත්ව පිතිකරුවන් ක්‍රීඩා පිටියට පැමිණියද ශාන්ත අන්තෝනි ක්‍රීඩකයන් ක්‍රීඩා පිටියට පැමිණීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් තරඟයේ ජය ත්‍රිත්ව විදුහලට ප්‍රදානය කිරීමට විනිසුරුවරු තීරණය කළහ.

දෙවැනි ඉනිමේදී ත්‍රිත්ව පිතිකරුවන් ජයග්‍රහණය කරා යන අවස්ථාවේදීත් ශාන්ත අන්තෝනි පන්දු යවන්නන්ගේ හැසිරීම මහත්වරුන්ගේ ක්‍රිකට් තරඟයට නොගැළපෙන ආකාරයෙන් විය. ශාන්ත අන්තෝනි පන්දු යවන්නන් ඉතාමත් අනවශ්‍ය ආකාරයට කල් මරමින් ව්‍යාජ ආබාධ පෙන්වමින් ඇද වැටෙමින් සිදුකරන ක්‍රීඩා විලාසයක් දිස්විය.

ත්‍රිත්ව පිල වෙනුවෙන් ආදම් හිල්මි පළමු ඉනිමේදී ශතකයක් (125) ලබාගත් අතර දිමන්ත මහාවිතාන අර්ධ ශතකයක් (54) ලබාගත්තේය.  පන්දු යවීමේදී ජයග්‍රාහී ත්‍රිත්ව පිල වෙනුවෙන් කනිල්ක ඇන්තනී ඉනිම දෙකේදි ලකුණු 110 කට කඩුලු 10 ක් බිඳ හෙලමින් තම පිල ජයග්‍රහණය කරා ගෙන යාමට සමත් විය.

 

ශාන්ත අන්තෝනි - පළමු ඉනිම සියලු දෙනා දැවී 157 යි
(සිසල් හේමක නොදැවී 64, කෞෂික කුමාරසිංහ 44, චනිරු සේනාරත්න 2/30, කනිල්ක ඇන්තනි 4/54, දිනාල් ප්‍රනාන්දු 2/09)

ත්‍රිත්ව විදුහල - පළමු ඉනිම සියලු දෙනා දැවී 264
(දිමන්ත මහවිතාන 54, ආදම් හිල්මි 125, නෙත්මික සෙනෙවිරත්න 29, කවිෂ සමරතුංග 3/55, සිසල්හේමක 3/46)

ශාන්ත අන්තෝනි - දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 170 යි
(සානුක කල්පන 29, කවිදු නවාංජන 36, කෞෂික කුමාරසිංහ 59, චනිරු සේනාරත්න 2/51, කනිල්ක ඇන්තනි 6/56)

ත්‍රිත්ව විදුහල - දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 63  යි
(දිමන්ත මහවිතාන නොදැවී 23)


අදහස් (0)

පිටියේ කලබගෑනිය අවසානයේදී ජය ත්‍රිත්ව විදුහලට ප්‍රදානය කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.