Last Update  :  2025-12-18 15:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket නවීනතම පහසුකම්වලින් සමන්විත ගෘහස්ථ ක්‍රිකට් පුහුණු සංකීර්ණයක්

නවීනතම පහසුකම්වලින් සමන්විත ගෘහස්ථ ක්‍රිකට් පුහුණු සංකීර්ණයක්

editorial - 2025 දෙසැ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානය සඳහා නවතම පහසුකම් වලින් යුත් ගෘහස්ථ පුහුණු සංකීර්ණයක් පසුගිය සඳුදා විවෘත කරන ලදි. ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්ෂේත්‍රයට කලක් තිස්සේ පැවැති අඩුපාඩුවක් වූ මෙම ගෘහස්ථ පුහුණු සංකීර්ණය මගින් ඉහළම තලයේ පුහුණුවීම් සඳහා අවශ්‍ය ප්‍රධාන පහසුකමක් සම්පූර්ණ කෙරේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් පදනමේ ආධාරයෙන්, ගාමිණී දිසානායක මහතා විසින් 1982 දී කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී ඉදිකරන ලද ගෘහස්ථ ක්‍රිකට් පුහුණු තීරුවට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කොළඹදී ඉදිකරන ලද ගාහස්ථ පුහුණු සංකීර්ණය මෙයයි. මේ හැරෙන්නට මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේත් ගෘහස්ථ පුහුණු සංකීර්ණයක් තිබේ. 

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ස්ථාපිත කර ඇති, නවීනතම පහසුකම් වලින් සමන්විත පිහිනුම් තටාකයක් ඇතුළුව මෙම පුහුණු සංකීර්ණය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ආයෝජනය කළ සම්පූර්ණ මුදල රුපියල් මිලියන 1200 ක් හෙවත් රුපියල් කෝටි 120 ඉක්මවයි. 

අති නවීනතම පහසුකම්වලින් යුත්, පන්දු යැවීමේ යන්ත්‍රද සහිතව, පුහුණු තීරු 7 කින් සමන්විත ගෘහස්ථ පුහුණු සංකීර්ණය මේ වන විට ලෝකයේ පවතින ඉහළම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකර තිබේ. එයට දඟ පන්දු යවන්නන් සඳහා වෙන් වූ පුහුණු තීරු දෙකක්, වේග පන්දු යවන්නන් සඳහා වෙන්කරන ලද පුහුණු තීරු දෙකක් සහ සාමාන්‍ය තත්ත්වයේ පුහුණු තීරු තුනක් ඇතුළත් වේ.

ජාතික ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ පිහිටුවා ඇති මෙම පහසුකම් වලට අමතරව ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ක්‍රීඩාංගණයක්, එළිමහන් පුහුණු පහසුකම්, ව්‍යායාම ශාලාවක්, මංතීරු අටකින් යුත් අති නවීන පිහිනුම් තටාකයක්, තරඟ සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පුද්ගලික දක්‍ෂතා මෙන්ම අඩු ලුහුඬුකම් විශ්ලේෂණය කිරීම සඳහා දත්ත මධ්‍යස්ථානයක්, භෞත චිකිත්සක ඒකකයක් සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ද ඇතුළු ක්‍රිකට් ක්‍රීඩාව සඳහා අත්‍යවශ්‍ය ආධාරක ඒකක කිහිපයක් ද මෙම සංකීර්ණයට ඇතුළත් වේ.

තීරණාත්මක තරගාවලියකට පොරතුව පුහුණුවීම් කිරීමේදී කාලගුණයෙන් ඇතිවන බාධාවීම් හේතුවෙන් පුහුණුවීම් අවලංගුකර නොදමා එම පුහුණුවීම් අඛණ්ඩව ඉදිරියට ගෙනයාමේ පහසුකම මෙම ගෘහස්ථ පුහුණු සංකීර්ණයෙන් ලබාගත හැකිය. ශ්‍රී ලංකාවේ පිරිමි සහ කාන්තා ජාතික කණ්ඩායම් වලට මෙන්ම ශ්‍රී ලංකා ‘ඒ‘ සහ නැගී එන කණ්ඩායම් නියෝජනය කරන ක්‍රීඩකයින්ටත්, වයස 19 න් පහළ, 17 න් පහළ සහ 15 න් පහළ ජාතික සංචිත නියෝජනය කරන ක්‍රීඩකයින්ටත් මෙම ගෘහස්ථ පුහුණු සංකීර්ණයේදී පුහුණුවීම් කළ හැකිය. 

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතාගේ ආරාධනයෙන් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින්, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මහතාගේ සහභාගිත්වයත් ඇතිව, මෙම ගෘහස්ථ පුහුණු සංකීර්ණය විවෘත කරන ලදී. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු නිලධාරීන් සහ සාමාජිකයින් ද උත්සවයට සහභාගී වූ අතර ජාතික පිරිමි සහ කාන්තා ක්‍රිකට් ක්‍රීඩකයෝ ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

2026 ශ්‍රී ලංකාවට අතිශයින් කාර්ය බහුල වර්ෂයකි. වසර ආරම්භ වන්නේ පාකිස්තානු පිලට එරෙහිව පැවැත්වෙන විස්සයි-20 තරගාවලියකිනි. ඉන් අනතුරුව එක්දින තරග 3 කට සහ විස්සයි-20 තරග 3 කට සහභාගි වීම සඳහා එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණෙයි. 
ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දියාවත් සම සත්කාරය දරන, රටවල් 20 ක් සහභාගි වන විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය පෙබරවාරි මස 7 වැනිදා කොළඹදී ආරම්භ වෙයි. 

 


අදහස් (0)

නවීනතම පහසුකම්වලින් සමන්විත ගෘහස්ථ ක්‍රිකට් පුහුණු සංකීර්ණයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.