Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද ඩුබායි සිට..)
වසර 2 ක පමණ කාලයක සිට විශාල වෙනස්කම් කරා නොයමින් දිගින් දිගටම එකම කණ්ඩායමක් ක්‍රීඩා කිරීම තුළින් ක්‍රීඩකයන්ගේ විශ්වාසය සහ එකමුතුකම වැඩි වූ බවත්, ආසියානු කුසලාන තරගාවලියේදී පිට පිටම ජයග්‍රහණ 3 ක් ලබාගැනීම සඳහා එය බෙහෙවින්ම ඉවහල් වූ බවත් කණ්ඩායමේ මැද පෙළ පිතිකරු භානුක රාජපක්ෂ පවසයි. ඉන්දියාවට එරෙහිව පැවැති තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු ඒ බව කියා සිටියේය.
“නිතර නිතර කණ්ඩායමේ වෙනස් කම් සිදුවෙන කොට කණ්ඩායමක් විදියට එකිනෙකා අතර විශ්වාසයක් ගොඩනගා ගන්න අමාරුයි. ක්‍රීඩකයන් එක්කෙනෙක් දෙන්නෙක් කණ්ඩායමට ඇවිත් එළියට ගියත් පහුගිය අවුරුදු දෙකෙදි දිගින් දිගටම අපේ එකම කණ්ඩායමක් තමයි ක්‍රීඩා කළේ. ඒක තමයි අපේ සාර්ථකත්වයට හේතුව කියලා මම හිතනවා.” යැයි භානුක සඳහන් කළේය.
“කණ්ඩායමේ නායකයා, පුහුණුකරුවන් සහ තේරීම් කමිටුව ක්‍රීඩකයන්ව ආරක්ෂා කරනවා. ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා. එතකොට ක්‍රීඩකයන්ට පීඩනයකින් තොරව ක්‍රීඩා කරන්න පුළුවන්. ඇත්තටම ඒක හුඟක් හොඳ දෙයක්. මේ විදියට දිගටම ගියොත් මීට දශක දෙකකට පමණ කලින් හිටපු ශ්‍රී ලංකා කණ්ඩායම වගේ හුඟක් ශක්තිමත් කණ්ඩායමක් ගොඩනගා ගන්න අපිට පුළුවන් වේවි.” යැයිද භානුක පැවසීය.
පන්දු 18 ක් තුළ ලකුණු 13 කට කඩුලු 4 ක් බිඳ වැටුණද, භානුක රාජපක්ෂ (නොදැවී 25) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කදී ලකුණු 64 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ නායක දසුන් ශානක (නොදැවී 33) ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. පන්දු 18 කදී වාර්තා වූ දසුන්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සමන්විත වූ අතර පන්දු 17 කදී වාර්තා වූ භානුකගේ ඉනිමට හයේ පහර 2 ක් ඇතුළත් විය.
වැඩිම විස්සයි-20 තරග සංඛ්‍යාවකදී (15) ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවා ඇති නායකයා වන දසුන් ශානක සම්බන්ධයෙන් අදහස් දක්වමින් භානුක කියා සිටියේ මෙම තරගයේදී කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑම සඳහා තමා සමග දසුන් කඩුල්ලේ රැදී සිටීම වඩා වැදගත් වූ බවය. කණ්ඩායමේ අත්දැකීම් බහුලම ක්‍රීඩකයන් දෙදෙනා ලෙස තමාට සහ දසුන්ට, කණ්ඩායමේ වැඩි වගකීමක් පැවරී ඇති බවද භානුක එහිදී සඳහන් කළේය.
“ඉන්දියාව වගේ කණ්ඩායමක් එක්ක 170 ක් 180 වගේ ලකුණු සංඛ්‍යාවක් එලවන එක ලේසි නෑ. මොකද ඒගොල්ලො අයි.පී.එල්. එකත් එක්ක ගත්තාම අවුරුද්දකට විස්සයි-20 තරග 50 ක් 60 ක් ගහනවා. ඒත් එල්.පී.එල්. එකත් එක්ක ගත්තත් අපි අවුරුද්දකට ගහන්නෙ විස්සයි-20 තරග 20 ක් 25 ක් වගේ තමයි. දසුනුයි මායි මැද පෙළ පිතිහරඹයේ යෙදෙන්නෙත් ඒ හින්දයි. මොකද අත්දැකීම් අතින් බැලුවොත් අපි දෙන්නා තමයි වැඩිම තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කරලා තියෙන්නෙ.”
“ඉන්දියානුවන් එක්කත් අපි හුඟක් තරග ක්‍රීඩා කරලා තියෙනවා. ඉතින් ඒ වෙලාවෙ අපි බැලුවෙ කඩුල්ලත් ආරක්ෂා කරගෙන කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙනියන්න. ක්‍රීඩාංගණයේ එක පැත්තක හතරේ සීමාව තරමක් කෙටි කියලා අපි දැක්කා. ඒ පැත්තට වැඩිපුර පහරවල් ගහලා අවදානම අඩු කරගෙන ලකුණු රැස්කරන්න තමයි ඒ වෙලාවෙ අපි දෙන්නම බැලුවේ. අපේ සැලසුම හිතපු විදියටම සාර්ථක වුණා.”
“අනික තමයි දසුන් කඩුල්ලට ඇවිත් ඉක්මන් ලකුණු 30 ක් විතර ගහාලා මට පන්දුවට පහර දෙන එක ලේසි කළා. ඒ වේලාවෙ මට තිබුණෙ කෙටි ලකුණු ලබාගෙන පන්දුවට පහර දෙන්න දසුන්ට අවස්ථාව සලසලා දෙන්න විතරයි. එහෙම නොවුනා නම් මට තනියම වගකීමක් අරගෙන වේගයෙන් ලකුණු රැස්කරන්න වෙනවා. දසුනුයි මායි ඒ වෙලාවෙ ගත්ත තීරණ සේරම හරි ගිය නිසා තමයි අපිට තරගය ජය ගන්න ලැබුණේ” යැයිද භානුක කියා සිටියේය.
සෙසු පිතිකරුවන් සියලු දෙනාම පාහේ තරගයකදි දෙකකදී හෝ ලකුණු අතරට පැමිණියද, කණ්ඩායමේ උප නායක චරිත් අසලංක තවමත් සිය සුපුරුදු රිද්මයට පැමිණීමට මහත් වෙහෙසක් දරමින් සිටින බව පෙනී යයි. මෙම තරගාවලියේ සහභාගි වූ තරග 4 දී ඔහුගේ ලකුණු ලබාගැනීම 0, 1, 8, 0 ක් ලෙස සටහන් වීම තුළින් එය වඩාත් තහවුරු වේ. කෙසේ වුවත් තවදුරටත් චරිත් කෙරෙහි විශ්වාසය තබමින් භානුක කියා සිටියේ සුපුරුදු රිද්මයට පැමිණීම සඳහා ඔහුට එක් තරගයකදී ලකුණු 30 ක් ලබාගැනීම පමණක් ප්‍රමාණවත් බවත්ය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.