Last Update  :  2025-12-29 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ටයිටන්ස් පිලේ ප්‍රධාන පුහුණුකරු මහේල

ටයිටන්ස් පිලේ ප්‍රධාන පුහුණුකරු මහේල

ශනුක අරවින්ද - 2017 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) විස්සයි20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කරන කුල්නා ටයිටන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස වසර දෙකක කාලයක් සඳහා ශ්‍රී ලංකා පිලේ හිටපු නායක මහේල ජයවර්ධන තෝරාගනු ලැබ තිබේ.

ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස විශිෂ්ට කීර්තියක් අත්කරගැනීමෙන් පසුව වසර 2015 දී අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත් ජයවර්ධන බී.පී.එල් තරගාවලියේ පසුගිය තරගවාරයේදී ඩකා ඩයිනමයිට්ස් පිලට ක්‍රීඩා කළේය. පසුගියදා නිමාවට පත්වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ශූරතාව දිනූ මුම්බායි ඉන්දියන්ස් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස සාර්ථක කාර්යභාරයක් ඉටු කිරීමෙන් අනතුරුව කණ්ඩායමක ප්‍රධාන පුහුණුකරු ලෙස මේ ශ්‍රේෂ්ඨ ශ්‍රී ලාංකික ක්‍රීඩකයා කටයුතු කරන දෙවැනි අවස්ථාව මෙයයි.

ඕස්ටේ්‍රලියානු පිලේ හිටපු නායක රිකී පොන්ටින් ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මුම්බායි ඉන්දියන්ස් පිලේ පුහුණුකරු තනතුරට පත්වූ ජයවර්ධන මූල්‍යමය වශයෙන් අතිශයින්ම සාර්ථක මේ ලීග් ක්‍රිකට් තරගාවලියේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට සිය තුන්වැනි අයි.පී.එල්. ශූරතාව දිනාගැනිමට අනුපමේය දායකත්වයක් ලබා දුන්නේය.

මුම්බායි පිල මෙවර අයි.පී.එල් කුසලාන දිනාගැනීමේ විශේෂත්වය වන්නේ තරගාවලිය ආරම්භයේ සිටම එහි ප්‍රසාද ලකුණු පුවරුවේ පෙරමුණ ගනිමින් අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමත්, අවසන් වටයේ පළමු තරගයේදී පරාජය වූ නමුත් ඉතිරි තරග දෙකම ජයගනිමින් කුසලානය හිමිකර ගැනීමත්ය.

“බී.පී.එල්. තරගාවලියේ ඉදිරි තරගවාර දෙක සඳහා කුල්නා ටයිටන්ස් කණ්ඩයාමේ ප්‍රධාන පුහුණුකරු ලෙස මහේල ජයවර්ධන එක්වීමෙන් අපි ප්‍රමෝදයට පත්වුණා.” කුල්නා ටයිටන්ස් පිලේ කළමනාකාර අධ්‍යක්ෂ කාසි අහමඞ් මහතා නිවේදනයක් නිකුත් කරමින් කීවේය.

“මුම්බායි ඉන්දියන්ස් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස ඔහුගේ පුහුණුකාරිත්වය යටතේ මුම්බායි ඉන්දියන්ස් පිල ශූරතාව ජයගනු දැකීමෙන් අප බලවත් ප්‍රීතියට පත්වුණා. අපේ ටයිටන්ස් පිලේ සියලුම ක්‍රීඩකයන් ඔහුගෙන් බොහෝ දේවල් ඉගෙන ගන්නා බවට මට සහතිකයි. ඔහුගේ සහභාගීත්වයෙන් තරගාවලිය වඩාත් සාර්ථක එකක් වේවි” ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 39 හැවිරිදි මහේල මේ තනතුරට පත්වූයේ ටයිටන්ස් පිලේ වත්මන් පුහුණුකරු ලෙස සිටි ස්ටුවර්ට් ලෝ බටහිර ඉන්දීය කොදෙව් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වූ බැවිනි.

“පසුගිය වසරේදී බී.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කිරීමෙන් මම සෑහෙන විනෝදයක් ලැබුවා. මේ වසරේ බී.පී.එල්.තරගාවලියේ සාර්ථකත්වයට අවශ්‍ය මොනවාදැයි යන්න ගැන හොඳ අවබෝධයක් මට ඉන් ලැබුණා.” ටයිටන්ස් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස තනතුරට පත්වූ මහේල ජයවර්ධන කීවේය.

බී.පී.එල්. තරගාවලියේ පස්වැන්න ලබන නොවැම්බර් මස 4 වැනිදා ආරම්භ වීමට නියමිතය.

-077

 


අදහස් (0)

ටයිටන්ස් පිලේ ප්‍රධාන පුහුණුකරු මහේල

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.