Last Update  :  2025-07-28 15:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ජදේජා - සුන්දර් ඉන්දියාව බේරා ගනිති
ඕල්ඩ්ට්‍රැෆර්ඩ් ටෙස්ට් තරගය

ජදේජා - සුන්දර් ඉන්දියාව බේරා ගනිති

editorial - 2025 ජුලි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් පළවූ සියලු අනාවැකි දවා අළුකළ ඉන්දීය පිතිකරුවෝ, ඕල්ඩ්ට්‍රැෆර්ඩ් ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කළහ. තරගයේ අවසන් හෝරාවේදී, ඕවර 12 ක පමණ ඉතිරිව තිබියදී තරගය අතහැර දමන විට ඉන්දීය කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 425 ක් ලබා සිටියේය. 

තමන් අබිමුව තිබූ ලකුණු 311 ක දැවැන්ත අවාසිය අකාමකා දැමූ ෂුබ්මන් ගිල් (103), වොෂිංටන් සුන්දර් (නොදැවී 101) සහ රවීන්ද්‍ර ජදේජා (නොදැවී 107) පරාජයෙන් පළායාම සැලසුම් කළ පරිදිම ක්‍රියාත්මක කළහ. හදිසියේම අංක 5 ස්ථානයට උසස්වීමක් ලද වොෂිංටන් සුන්දර් සහ රවීන්ද්‍ර ජදේජා එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ අඛණ්ඩ සම්බන්ධතාව ලකුණු 203 කි. 

ජදේජාගේ අවසන් ටෙස්ට් ඉනිම 6 දී ලකුණු ලබාගැනීම් සටහන් වූයේ 89, නොදැවී 69, 72, නොදැවී 61, 20 සහ නොදැවී 107 ක් වශයෙනි. 

ඉන්දීය දෙවැනි ඉනිමේදී එකම ලකුණක් හෝ ලබාගැනීමට පෙර කඩුලු දෙකක් බිඳ වැටුණ නමුත් තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 188 ක අති විශිෂ්ට සම්බන්ධතාවක් ගොඩනැංවූ ලෝකේෂ් රාහුල් සහ නායක ෂුබ්මන් ගිල් දෙදෙනා ඉන්දීය පිලට මෙම ස්ථාවර තත්ත්වයට පැමිණීමේ මාවත විවර කර දුන්හ. ලකුණු 34 ක් ඇතුළත රාහුල් සහ ෂුබ්මන් ගිල් දෙදෙනාම දැවී ගියත් වොෂිංටන් සුන්දර් සහ රවීන්ද්‍ර ජදේජා එක්ව එංගලන්ත පන්දු යවනනන් අසහනයට පත්කළහ. 

එකම ටෙස්ට් තරගාවලියකදී ලකුණු 700 පසුකළ තුන්වැනි ඉන්දීය පිතිකරුවා වූ ෂුබ්මන් ගිල්, මෙම තරගාවලියේදී ලබාගත් සිව්වැනි ශතකය අද සම්පූර්ණ කළේය. එංගලන්තයට එරෙහිව පැවැත්වෙන තෙන්ඩුල්කාර් - ඇන්ඩසන් කුසලාන තරගාවලියේදී ඉන්දීය නායකයා වන ෂුබ්මන් ගිල්ගේ ඉනිම 8 කදී ලකුණු ලබාගැනීම් සටහන් වූයේ 147, 8, 269, 161, 16, 6, 12 සහ 103 ක් ලෙසිනි. 

කඩුලු 2 කට ලකුණු 178 ක් ලබා සිටියදී අද දිනය ආරම්භ කළ ඉන්දියානුවෝ දිවා ආහාරය වන විට කඩුලු 4 කට ලකුණු 222 ක් ලබා සිටියහ. එහෙත් රවීන්ද්‍ර ජදේජා දුන් උඩපන්දුවක් පළමු ස්ලිප් හි සිටි ජෝ රූට්ට රැකගත හැකිවූයේ නම් කඩුලු සංඛ්‍යාව 5 ක් වන්නට තිබිණ. 

ඉන්දියාව - පළමු ඉනිම 358 යි
එංගලන්තය - පළමු ඉනිම 669 යි
ඉන්දියාව -  දෙවැනි ඉනිම කඩුලු 4 ට 425 යි

(ලෝකේෂ් රාහුල් 90, ෂුබ්මන් ගිල් 103, වොෂිංටන් සුන්දර් නොදැවී 101, රවීන්ද්‍ර ජදේජා නොදැවී 107)
- 213


අදහස් (0)

ජදේජා - සුන්දර් ඉන්දියාව බේරා ගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.