Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මෙවර ශීත ඍතුවේදී පැවැත්වීමට නියමිත අළු බඳුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරා ගනු ලබන එංගලන්ත සංචිතයට ඇතුළත් නොවීමත් සමග ජාත්‍යන්තර තරග බිමෙන් සමු ගැනීමට තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් වෝක්ස් පියවර ගෙන ඇත.
මේ වන විට 36 වැනි වියේ පසුවන වෝක්ස්, ටෙස්ට් තරග 62 කදීත්, එක්දින තරග 122 කදීත්, විස්සයි-20 තරග 33 කදීත් එංගලන්තය නියෝජනය කර තිබේ. වෝක්ස් 2019 වසරේදී එක්දින ලෝක කුසලාන දිනාගත් එංගලන්ත කණ්ඩායමේ මෙන්ම 2022 වසරේදී විස්සයි-20 ලෝක කුසලාන දිනාගත් එංගලන්ත කණ්ඩායමේද සාමාජිකයකු විය.
වොවික්ෂයර් ප්‍රාන්තය නියෝජනය කළ වෝක්ස්, 2011 වසරේදී එංගලන්තය වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනාගත් අතර 2013 වසරේදී පැවැති අළු බඳුන තරගාවලියේ අවසන් තරගය ඔහුගේ පළමු අළු බඳුන ක්‍රිකට් තරගය විය.
ටෙස්ට් තරගවලදී 29.61 ක කඩුල්ලක් දවාගැනීමේ සාමාන්‍යයක් රඳවාගනිමින් කඩුලු 192 ක් දවාගෙන ඇති වෝක්ස්, එහිදී ලකුණු 2034 ක් රැස්කිරීමට සමත්ව ඇත්තේ 25.11 ක ලකුණු රැස්කිරීමේ සාමාන්‍යයකට හිමිකම් කියමිනි. එක්දින තරගවලදී කඩුලු 173 ක් බිඳහෙළමින් ලකුණු 1524 ක් රැස්කර ඇති ඔහු, විස්සයි-20 තරගවලදී 31 ක් දවාගනිමින් රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 147 කි.
“එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කිරීම මම කුඩා කාලයේ සිටම ගෙවත්තේ සෙල්ලම් කරමින් සිටියදී සිහින දකිමින් කිරීමට ආශා කළ දෙයක්. ඒ සිහිනය සැබෑ කර ගැනීමට ලැබීම ගැන මට ඇදහිය නොහැකි තරම් වාසනාවන්ත බවක් දැනෙනවා.” වෝක්ස් සිය සමාජ මාධ්‍යවල සටහනක් තබමින් ප්‍රකාශ කළේය.
“එංගලන්තය නියෝජනය කිරීම සහ පසුගිය වසර 15 තුළ කණ්ඩායමේ සගයන් සමග පිටිය බෙදා ගැනීම තුළින් ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ජීවිත කාලය පුරාම මාගේ මිතුරන් බවට වෙලා තියෙනවා. මේව තමයි මම නැවත නැවතත් ආඩම්බරයෙන් සිහිපත් කරන දේවල්. මගේ මංගල තරගය මට අද ඊයේ වගේ දැනෙනවා. ඒත් විනෝද වන විට කාලය ඉක්මනින් ගතවෙනවා.”
“ලෝක කුසලාන දෙකක් ඔසවා තිබීම සහ අළු බඳුන තරගාවලියක කොටසක් වීම මට අමතක නොවන දෙයක්. එය කළ හැකි වේවි කියලා මම කිසිදා හිතුවෙ නැහැ. මගේ කණ්ඩායමේ සගයන් සමග ඒ මතකයන් සහ සැමරුම් සදහටම මා සමග පවතීවි. මම දිගටම ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩා කිරීමටත්, ෆ්‍රැන්චයිස් තරගාවලිවලට සහභාගි වීමටත් බලාපොරොත්තු වෙනවා.” යැයිද වෝක්ස්ගේ සමාජ මාධ්‍ය සටහන්වල සඳහන්ව තිබිණ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.