අවසන් ඕවරය යැවූ මාර්ක් වුඞ්ගේ විශිෂ්ට පන්දුයැවීම හමුවේ සවුත්හැම්ටන්හිදී ඊයේ (27 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයෙන් ලකුණු 2 ක ජයක් හිමිකරගත් එංගලන්තය 2-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට සමත්විය. දකුණු අප්‍රිකානුවන්ට ජයග්‍රහණය සදහා අවසන් ඕවරයේදී ලකුණු 7 ක් ලබාගැනීමට අවශ්‍යවුවද ඬේවිඞ් මිලර් සහ ක්‍රීස් මොරිස්ට ලබාගත හැකිවූයේ ලකුණු 4 ක් පමණි.
ජයග්‍රහණය සදහා ලකුණු 331 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකාවට ඕවර 50 අවසානයේදී කඩුලු 5 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 328 ක් පමණි. මොයින් අලීගේ පන්දුවක් හමුවේ ජෝස් බට්ලර් අතට උඩපන්දුවක් දෙමින් ශතකය පෙනි පෙනී ලකුණු 98 කට ක්වින්ටින් ඩි’ කොක් දැවී ගියේය. පන්දු 103 කට මුහුණදුන් බට්ලර්ගේ ඉනිමට හතරේ පහර 11 ක් ඇතුළත් විය.
හසීම් අම්ලා සමගින් පළමු කඩුල්ල සදහා පන්දු 59 කදී ලකුණු 56 ක සම්බන්ධතාවයක් පැවැත්වූ ක්වින්ටින් ඩි’ කොක් තෙවැනි කඩුල්ල සදහා ඒ. බී. ඩිවිලියස් සමගින්ද එක්ව පන්දු 98 කදී ලකුණු 96 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත් විය.
වේගවත් පිතිහරඹයක නිරතවූ ඬේවිඞ් මිලර් පන්දු 51 කදී හයේ පහර දෙකක් සහ හතරේ පහර පහක් සමගින් නොදැවී ලකුණු 71 ක් රැස්කළේය. ෆර්හාන් බෙහාර්ඩීන් සමගින් පස්වැනි කඩුල්ල සදහා පන්දු 45 කදී ලකුණු 55 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ ඬේවිඞ් මිලර් හයවැනි කඩුල්ල සදහා ක්‍රීස් මොරිස් සමගින් පන්දු 39 කදී ලකුණු 62 ක නොබිඳුණු සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්විය. ක්‍රීස් මොරිස් හයේ පහර දෙකක් සහ හතරේ පහර තුනක් සමගින් පන්දු 22 කදි නොදැවී ලකුණු 36 ක් රැස් කළේය.
පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 330 ක් රැස්කිරීමට සමත් විය. එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ බෙන් ස්ටොක්ස් (101), පන්දු 79 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 11 ක් සමගින් සිය දෙවැනි එක්දින ශතකය ලබාගත්තේය.
නායක ඔයින් මෝගන් (45) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 102 කදී ලකුණු 95 ක සම්බන්ධතාවක් ගොඩනැගූ බෙන් ස්ටොක්ස්, ඉන් නොනැවතී ජොස් බට්ලර් (නොදැවී 65) සමග එක්ව පන්දු 69 කදී ලකුණු 77 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. ඔයින් මෝගන්ගේ ඉනිමට හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර ජොස් බට්ලර්ගේ අර්ධ ශතකය හතරේ පහර 7 කින් සමන්විත විය.
එංගලන්ත ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී වේගවත් පිතිහරඹයක නිතර වූ මුයින් අලී හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 33 ක් රැස්කළේ පන්දු 19 කිනි. බෙන් ස්ටොක්ස්ගේ දැවී යාමෙන් අනතුරුව ජොස් බට්ලර් සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 40 කදී ලකුණු 77 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගූ මුයින් අලී, සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව 300 සීමාවෙන් ඔබ්බට රැගෙන යෑම සඳහාද සිය දායකත්වය සැපයීය.
මෙම තරගයේදී දකුණු අප්‍රිකානු පන්දුයවන්නන් සියලු දෙනාම එංගලන්ත පිතිකරුවන්ගේ දැඩි ප්‍රහාරයට ලක්වූ අතර එහිදී යම් තරමක හෝ සාර්ථකත්වයක් පෙන්නුම් කළ කගිසෝ රබාඩා ලකුණු 50 කට කඩුලු 2ක් දවාගත්තේය.
කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක ඒ. බී. ඩිවිලියස් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා එංගලන්තය කණ්ඩායමට ආරාධනා කර සිටියේය.
එංගලන්තය - ඕවර 50 කදී කඩුලු 6 කට 330
(ඇලෙක්ස් හේල්ස් 24, ජෝ රූට් 39, ඔයින් මෝගන් 45, බෙන් ස්ටොක්ස් 101, ජොස් බට්ලර් නොදැවී 65, මුයින් අලී 33, කගිසෝ රබාඩා 50/2)
දකුණු අප්‍රිකාව - ඕවර 50 කදී කඩුලු 5 කට 328
(ක්වින්ටින් ඩි’ කොක් 98, හෂීම් අම්ලා 24, ඒ. බී. ඩිවිලියස් 52, ඬේවිඞ් මිලර් නොදැවී 71, ක්‍රිස් මොරිස් නොදැවී 36, ලයෑම් ප්ලන්කට් 64/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.