Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්ත පන්දු යවන්නන් හමුවේ නොසැලී සිටි රෝහිත් ෂර්මාගේ (127) ශතකයත්, චෙටේස්වාර් පුජාරාගේ (61) අර්ධ ශතකයත් හේතුවෙන් සිව්වැනි ටෙස්ට් තරගයේ 3 වැනි දිනය නිමාවන විට ඉන්දීය කණ්ඩායම ලකුණු 171 කින් ඉදිරියට ගියහ. මුල් ඉනිමේදී ලකුණු 191 කට දැවී යාම නිසා බරපතළ අවාසියකට මුහුණ දුන් නමුත් තරගයේ 3 වැනි දිනය වූ අද (4 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට ඉන්දීය කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 270 ක් ලබා සිටියේය.
එංගලන්තය සිය මුල් ඉනිම වෙනුවෙන් ලකුණු 290 ක් ලබාගත්තේය. එහෙත් මුල් ඉනිමේ අවාසිය මකාහළ ඉන්දියානුවෝ අද දිවා ආහාරය වන විට ලකුණු 9 ක් ඉදිරියෙන් සිටි අතර තේ පානය වන විට තමන්ගේ වාසිය ලකුණු 100 ක් දක්වා වැඩිකර ගත්තේ දිවා ආහාරයත් තේ පානයත් අතර එකම කඩුල්ලක් හෝ දවාගැනීමට එංගලන්ත පන්දු යවන්නන්ට අවසර නොදෙමිනි.
නමුත් තේ පානයෙන් පසුව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 153 ක සම්බන්ධතාවයක් පැවැත්වූ රෝහිත් ෂර්මා සහ චෙටේස්වාර් පුජාරා එකම ඕවරයේදීම දවා ගැනීමට ඔලී රොබින්සන් සමත්විය.
මිනිත්තු 353 ක කාලයක් කඩුල්ලේ රැඳී සිටිමින් හයේ පහරක් සහ හතරේ පහර 14 ක් සමගින් ලකුණු 127 ක් රැස් කිරීමට රෝහිත් ෂර්මා සමත්වූ අතර චෙටේස්වාර් පුජාරා මිනිත්තු 201 ක කාලයක් කඩුල්ලේ රැඳී සිහින් හතරේ පහර 9 ක් සමගින් ලකුණු 61 ක් ලබාගැනීමට සමත්විය.
විරාට් කෝලී ලකුණු 22 ක් සහ රවින්ද්‍ර ජදේජා ලකුණු 9 ක් රැස් කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති.
අද පෙරවරුවේදී දැවී එකම ඉන්දීය පිතිකරුවා වන ලෝකේෂ් රාහුල්ගේ කඩුල්ල ජේම්ස් ඇන්ඩසන්ට හිමිවිය. සෙසු පන්දු යවන්නන් වූ ඔලී රොබින්සන්, ක්‍රිස් වෝක්ස්, ක්‍රෙග් ඔවර්ටන් සහ මොයින් අලීට වෙහෙස විනා කඩුලු නොලැබිණ.
තරග 5 කින් සමන්විත පතව්දි කුසලාන ටෙස්ට් තරගාවලිය මේ වන විට 1-1 ක් ලෙසින් සමවී තිබේ.
දිවා ආහාරය වන විට ෂර්මා නොදැවී ලකුණු 47 ක් ලබා සිටි නමුත් ඊට පෙර දෙවරක්ම ඔහු දුන් උඩපන්දු ස්ලිප් ක්‍රීඩකයන් විසින් බිම දමන ලදි. දෙවැනි වර ෂර්මාට අනුග්‍රහය දක්වන ලද්දේ රෝරි බර්න්ස් විසිනි.
අද පෙරවරුවේදී තිබූ වැසිබර අඳුරු තත්ත්වය නිසා පන්දුවෙන් හොඳ දෝලනයක් ලබාගැනීමට ජේම්ස් ඇන්ඩසන් ඇතුළු වේග පන්දු යවන්නන් සමත් වෙද්දී අඳුර පළවාහැරීමට ඕවල් ක්‍රීඩාංගණයේ විදුලි පහන් දල්වන ලදි. මෙම තත්ත්වය යටතේ ඇන්ඩසන් සහ ක්‍රිස් වෝක්ස් දෙදෙනා හමුවේ ලකුණු ලබාගැනීම මහත් අසීරු විය.
බෙන් ස්ටෝක්ස් නොමැතිවීම නිසා මෙම තරගාවලියේදී එංගලන්තයට හොඳ ස්ලිප් ක්‍රීඩක වළල්ලක් නොමැතිවීම බරපතළ අවාසියක් වී තිබේ. රෝහිත් ෂර්මාගේ දෙවැනි උඩපන්දුවත් ඔලී රොබින්සන්ගෙන් ගිළිහී යාම එංගලන්ත පිලෙන් ගිළිහුණු 6 වැනි උඩපන්දුව විය.
ඉන්දියාව - පළමු ඉනිම 191 යි
එංගලන්තය - පළමු ඉනිම 290 යි
ඉන්දියාව - දෙවැනි ඉනිම කඩුලු 3 ට 270 යි
(රෝහිත් ෂර්මා 127, ලෝකේෂ් රාහුල් 46, චෙටේස්වාර් පුජාරා 61, විරාට් කෝලී නොදැවී 22, රවින්ද්‍ර ජදේජා නොදැවී 9, ජේම්ස් ඇන්ඩසන් 49/1, ඔලී රොබින්සන් 67/2)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.