Last Update  :  2025-05-08 21:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ඉන්දියාව පැරදූ ශ්‍රී ලංකාව අවදානමෙන් මිදෙයි
ආසියානු කුසලාන

ඉන්දියාව පැරදූ ශ්‍රී ලංකාව අවදානමෙන් මිදෙයි

editorial - 2022 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(ශානුක අරවින්ද ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)

 

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසීම සඳහා අවස්ථාවක් හිමිකර ගත්තේය. ජයග්‍රහණය සඳහා ලකුණු 173 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 4 ක් දැවී එම ඉලක්කය සපුරාගත්හ.

මෙම තරගයේදී ලැබූ පරාජය හේතුවෙන් ඉන්දියාවට දැඩි අවධානම් සහගත තත්ත්වයකකට මුහුණ දීමට සිදුවිය. පවතින තත්ත්වය අනුව ඉන්දියාවට අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට නම් ඇෆ්ඝනිස්තානයට එරෙහිව පැවැත්වෙන තරගය ජයගත යුතු වන අතර සෙසු තරගවලදී ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය හමුවේ පාකිස්තානය පරාජයට පත්විය යුතුය. එහෙත් එහිදී එක් ජයග්‍රහණය බැගින් ලබන කණ්ඩායම් තුනෙහි ශුද්ධ ලකුණු වේගයන් සලකා බැලෙනු ඇත.

කෙසේ වුවත් හෙට (7 වැනිදා) පැවැත්වෙන තරගයේදී ඇ‍ෆ්ඝනිස්ථානය පරාජය කිරීමට පාකිස්තානය සමත් වුවහොත්, සෙසු තරගවල ප්‍රතිඵලයන් කෙසේ වුවද ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය නිසැක වශයෙන්ම අවසන් මහ තරගයට සුදුසුකම් ලබනු ඇත.

පන්දු 18 ක් තුළ ලකුණු 13 කට කඩුලු 4 ක් බිඳ වැටුණද, භානුක රාජපක්ෂ (නොදැවී 25) සමග එක්ව ‍පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 34 කදී ලකුණු 64 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ නායක දසුන් ශානක ‍(නොදැවී 33) ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. පන්දු 18 කදී වාර්තා වූ දසුන්ගේ ඉනිම හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සමන්විත වූ අතර පන්දු 17 කදී වාර්තා වූ භානුකගේ ඉනිමට හයේ පහර 2 ක් ඇතුළත් විය.

පළමු ඕවරයේදී ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කළද ඉන් අනතුරුව ක්‍රම ක්‍රමයෙන් ප්‍රහාරය ඇරඹූ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවෝ, අධිවේගී ඕවර 6 තුළදී ලකුණු 57 ක් රැස්කළහ. ඉන් නොනැවතුණ ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල සඳහා පන්දු 67 කදී ලකුණු 97 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. එහිදී පන්දු 37 කට මුහුණදුන් පැතුම් නිස්සංක හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමග සිය 6 වැනි විස්සයි-20 අර්ධ ශතකය ලබාගත්තේය.

යුස්වේන්ද්‍ර චාහල්ගේ පන්දුවක් හමුවේ රිවර්ස් ස්වීප් පහරක් ගැසීමට යෑමේදී නායක රෝහිත් ශර්මා අතට උඩ පන්දුවක් දෙමින් පැතුම් දැවී යෑමත් සමග මෙවර තරගාවලියේදී ඕනෑම කණ්ඩායමක් පළමු කඩුල්ල වෙන්වෙන් ගොඩනගා තිබූ ඉහළම සම්බන්ධතාව නිමාවට පත්විය. ඔහුගේ දැවී‍යෑමෙන් පන්දු දෙකකට පසුව උප නායක චරිත් අසලංකද ලකුණු නොළබා ආපයින්ම ආපසු ක්‍රීඩාගාරය බලා යෑමෙන් ශ්‍රී ලකා කණ්ඩායමක තරමක් අසීරු තත්ත්වයකට පත් විය.

අපර් කට් පහරකින් බුවනේෂ්වර් කුමාර්ගේ පන්දුවක් හතරේ සීමාව කරා යවමින් මෙවර තරගාවලියේදී සිය දෙවැනි අර්ධ ශතකය ලබාගත් කුසල් මෙන්ඩිස්ට ඉන් අනතුරුව වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට ඉඩක් නොලැබිණ. යුස්වේන්ද්‍ර චාහල්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවන විට පන්දු 37 කට මුහුණදී සිටි ඔහුගේ ඉනිම හයේ පහර 3 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත වී තිබිණ.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දසුන් ශානකගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 173 ක් ලබාගත්තේය. ඉනිමේ අවසන් භාගයේදී ලකුණු 15 ක් තුළ කඩුලු 4 ක් දවාගත් දිල්ෂාන් මධුෂංක ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ, ඉන්දීය කණ්ඩායම විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යෑමෙන් වළක්වා ගත්හ.

පළමු සහ තෙවැනි පන්දුවලදී කඩුලු 2 ක්ද දවාගනිමින් 19 වැනි ඕවරය ලකුණු 4 කට සීමා කළ මධුෂංක ඉන්දීය කණ්ඩායම පවත්වාගෙන ආ ලකුණු ලබාගැනීමේ වේගය අඩාල කළේය. පළමු පන්දුවේදී දීපක් හූඩාගේ (3) මැද ඉන්න බිඳ දැමූ මධුෂංක, වේගය අඩාල කර යැවූ තෙවැනි පන්දුවේදී රිෂාබ් පාන්ට්වද (17) තමාගේ ගොදුරක් බවට පත්කර ගත්තේය. මුහුණදුන් පළමු පන්දු 6 න් 3 ක්ම හතරේ සීමාව කරා යැවීමට පාන්ට් සමත්ව සිටියද ඉන් එහාට යමක් කිරීමට ‍ඔහුට නොහැකි විය.

ලකුණු 6 ක් ලබා සිටියදී ලෝකේෂ් රාහුල් කඩුල්ල මුවාකිරීමේ වරදට හසුකර ගනිමින් ඉන්දීය ඉනි‍මේ පළමු කඩුල්ලේ සම්බන්ධතාව ලකුණු 11 කට සීමා කිරීමට මහීෂ් තීක්ෂණ සමත් විය. ‍හොං කොං පිලට සහ පාකිස්තානයට එරෙහිව පිට පිටම අර්ධ ශතක දෙකක් ලබා සිටි විරාට් කෝලිගේ කඩුල්ල බිඳ දැමීමට දිල්ෂාන් මධුෂංක සමත් වූයේ කඩුල්ල තුළට දෝලනය කළ පන්දුවකිනි. එහිදී කඩුල්ල එල්ලයේ පැමිණි පන්දුවට හරවා පහරක් ගැසීමට යෑම හේතුවෙන් කෝලිට ලකුණු නොළබාම පිටියෙන් ඉවත්ව යෑමට සිදුවිය.

කෙසේ වුවත් මධුෂංකගේ පන්දු යැවීම ඕවර 2 කටත්, තීක්ෂණගේ පන්දු යැවීම ඕවරයකටත් සීමා කරමින්, චාමික කරුණාරත්න සහ අසිත ප්‍රාන්නාන්දු පන්දු යැවීම සඳහා කැඳවීමට නායක දසුන් ගත් තීරණයත් සමග තරගයේ පාලනය ශ්‍රී ලංකාවෙන් ගිළිහී ගියේය. ඉන්දීය ඉනිමේ 9 වැනි ඕවරයේදී වනිඳු හසරංගගේ පන්දුවක් හමුවේ ලකුණු 40 ක් ලබා සිටි රෝහිත් ශර්මා ලබාදුන් උඩ පන්දුවක් රැකගැනීමට කවර් කළාපයේ පන්දු රකිමින් සිටි දසුන් අපොහොසත් වීම තුළින් රෝහිත් ශර්මාට තවදුරටත් කඩුල්ලේ රැදී සිටීමේ අවස්ථාව උදා විය.

ලද අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගත් ශර්මා සිය කණ්ඩායමේ ලකුණු ලබාගැනීමේ වේගය ඉහළ දමමින් පන්දු 40 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමග ලකුණු 72 ක් රැස්කළේය. ‍‍සූර්යකුමාර් යාදව් (34) සමග එක්ව ඉන්දීය ඉනිමේ තෙවැනි කඩුල්ල වෙන්වෙනු පන්දු 58 කදී ලකුණු 97 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද ඔහු සමත් විය. වේගය අඩාල කරමින් චාමික කරුණාරත්න එවූ පන්දුවකට අපර් කට් පහරක් ගැසීමට යෑමෙදී ඩීප් කවර් කළාපයේ පන්දු රකිමින් සිටි පැතුම් නිස්සංක අතට උඩ පන්දුවක් දෙමින් ශර්මා දැවී ගියේය.

ඉන් අනතුරුව පන්දුව සියතට ගත් දසුන්, තමා යැවූ දෙවැනි පන්දුවේදීම සූර්යකුමාර් යාදව් දවාගත්තේ ඉන්දීය කණ්ඩායමට සිවුවැනි කඩුල්ලත් අහිමිකරමිනි. ෂෝට් තර්ඩ් මෑන් කළාපයේ පන්දු රකිමින් සිටි මහීෂ් තීක්ෂණ අතට පහසු උඩ පන්දුවක් දෙමින් දැවීයන විට පන්දු 29 කට මුහුණදී සිටි යාදව්‍ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහරක් ඇතුළත් වී තිබිණ. දසුන්ගේම පන්දුවක් හමුවේ ගැසූ පහරකින් ඉහළ ඇදී ගිය පන්දුව ඩීප් මිඩ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි පැතුම් නිස්සංක‍ගේ දෑත් අතර සිරවීමත් සමග හර්දීක් පාණ්ඩ්‍යාගේ ඉනිම ලකුණු 17 කට සීමා විය.

ශානකගේ පන්දුවක් හමුවේ ‍ෂෝට් තර්ඩ් මෑන් කළාප‍යේ පන්දු රකිමින් සිටි දිල්ෂාන් මධුෂංක අත‍ට උඩ පන්දුවක් දෙමින් දීපක් හූඩා දැවී ගියද, එම ඕවරයේදී දසුන් යැවූ දෙවැනි බවුන්සර් පන්දුව එය වීම හේතුවෙන් තෙවැනි විනිසුරුගේ සහායද ඇතිව එය ‍නිපන්දුවක් බවට සංඥ්ඥා කිරීමට ප්‍රධාන විනිසුරු පියවර ගත්තේය. චාමික කරුණාරත්න යැවූ ඉන්දීය ඉනිමේ අවසන් පන්දුවේදී රවිචන්ද්‍රන් අෂ්වින්, පහසු උඩ පන්දුවක් ලබාදුන්නද එය ලෝන් ඕන් කළාපයේ සිටි වනිඳු හරසංග අතින් ගිළිහී ගියේය.  

 

ඉන්දියාව
ලෝකේෂ් රාහුල් - ක.මු. කළා ප.තීක්ෂණ         6
රෝහිත් ශර්මා - ඇ.පැතුම් ප.කරුණාරත්න     72
විරාට් කෝලි - ප.මධුෂංක                                0
සූර්යකුමාර් යාදව් - ඇ.තීක්ෂණ ප.ශානක        34
හර්දීක් පාණ්ඩ්‍යා - ඇ.පැතුම් ප.ශානක            17
රිෂාබ් පාන්ට් - ‍ඇ.පැතුම් ප.මධුෂංක                17
දීපක් හූඩා - ප.මධුෂංක                                    3
රවිචන්ද්‍රන් අෂ්වින් - නොදැවී                         13
බුව‍නේෂ්වර් කුමාර් - ප.කරුණාරත්න               0
යුස්වේන්ද්‍ර චාහල් ‍- නොදැවී                             1
අතිරේක                                                         8
එකතුව ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී             173

පන්දුවට පහර නොදුන් පිතිකරුවා :
අර්ෂ්දීප් සිං

කඩුලු වැටීම :
1-11(රාහුල්), 2-13(කෝලි), 3-110(ශර්මා), 4-119(යාදව්), 5-149(පාණ්ඩ්‍යා), 6-157(හූඩා), 7-158(පාන්ට්), 8-164(බුවනේෂ්වර්)

පන්දු යැවීම :
දිල්ෂාන් මධුෂංක 4-0-24-3, මහීෂ් තීක්ෂණ 4-0-29-1, චාමික කරුණාරත්න 4-0-27-2, අසිත ප්‍රනාන්දු 2-0-28-0, වනිඳු හසරංග 4-0-39-0, දසුන් ශානක 2-0-26-2

 

ශ්‍රී ලංකාව
පැතුම් නිස්සංක - ඇ.රෝහිත් ප.චාහල්            52
කුසල් මෙන්ඩිස් - ක.මු. කළා ප.චාහල්           57
චරිත් අසලංක - ඇ.යාදව් ප.චාහල්                    0
ධනුෂ්ක ගුණතිලක - ඇ.රාහුල් ප.අෂ්වින්          1
භානුක රාජපක්ෂ - නොදැවී                           25
දසුන් ශානක - ‍නොදැවී                                 33
අතිරේක                                                         6
එකතුව ඕවර 19.5 කදී කඩුලු 4 ක් දැවී          174

පන්දුවට පහර නොදුන් ක්‍රීඩකයෝ :
වනිඳු හරසංග, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ අසිත ප්‍රනාන්දු සහ දිල්ෂාන් මධුෂංක

කඩුලු වැටීම :
‍1-97(පැතුම්), 2-97(චරිත්), 3-110(ධනුෂ්ක), 4-110(කුසල්)

පන්දු යැවීම :
බුවනේෂ්වර් කුමාර් 4-0-30-0, අර්ෂ්දීප් සිං 3.5-0-40-0, හර්දීක් පාණ්ඩ්‍යා 4-0-35-0, යුස්වේන්ද්‍ර චාහල් ‍4-0-34-3, රවිචන්ද්‍රන් අෂ්වින් 4-0-32-1


අදහස් (1)

ඉන්දියාව පැරදූ ශ්‍රී ලංකාව අවදානමෙන් මිදෙයි
  • Anees Wednesday, 07 September 2022 05:46 AM

    සතුටු දායක මොහොතක්..., ඉදිරියටම යමු සිංහයිනි,

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.