Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
අන්තර්ජාතික ක්‍රිකට් පිටියේ තමන්ගේ ශක්තිය කොතෙක්ද යන්න කදිමට විදහා පෙන්වූ ඉන්දියානුවෝ මොහාලි නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය වූ අද (6 වැනිදා) ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉනිමක සහ ලකුණු 222 ක දැවැන්ත ජයක් අත්කර ගත්හ. මුල් ඉනිමේදී කඩුලු 8 කට ලකුණු 574 ක් ලබාගත් ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකා පිලේ ඉනිම දෙක ලකුණු 174 කට සහ 178 කට සීමා කළේ සම්පූර්ණ දින දෙකක්ම ඉතිරිව තිබියදි තරගය ජයගනිමිනි.
අද පෙරවරුවේ ලකුණු 13 ක් අතරේ කඩුලු 6 ක් බිඳ වැටෙද්දී ඒවායින් 4 ක් දවාගත් රවීන්ද්‍ර ජදේජා ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල් ඉනිම ලකුණු 174 කට සීමා කළේය. ලකුණු 400 ක අවාසියකට මුහුණ දුන් ශ්‍රී ලාංකිකයෝ පිට පිටම දෙවැනි වතාවටත් පිතිහරඹයට ගියද දෙවැනි ඉනිමත් ඕවර 60 කට සීමා විය.
කඩුලු 4 ක් බැගින් දවාගත් රවිචන්ද්‍රන් අශ්වින් (47/4) සහ රවීන්ද්‍ර ජදේජා (46/4) ශ්‍රී ලංකාවේ දෙවැනි ඉනිමත් විනාශ කළහ. මුල් ඉනිමේදී කඩුලු 5 ක් දවාගත් ජදේජා දෙවැනි ඉනිමේදීත් 5 වැනි කඩුල්ල වෙනුවෙන් දැඩි උත්සාහයක් ගත් නමුත් මොහොමඩ් ශාමිගේ පන්දු යැවීම හේතුවෙන් මෙම තරගයේදී කඩුලු 10 ක් දවාගැනීමේ අවස්ථාව ඔහුට අහිමි විය.
ඉනිමක පරාජයෙන් බේරීමට නම් දෙවැනි ඉනිමේදී ලකුණු 400 ක් ලබාගත යුතු බැවින් කඩුලු ආරක්‍ෂාකරගැනීම පසෙක තබා ලකුණු රැස්කිරීමට වන් ශ්‍රී ලංකා පිතිකරුවෝ දිවා ආහාරයත් තේ පානයත් ඇතුළත ලකුණු 110 ක් ලබාගත්හ. ඒ අතරවාරයේදී ඉතාමත් හොඳ පන්දු හමුවේ දිමුත් කරුණාරත්න (27) සහ පැතුම් නිස්සංක (6) දැවී ගියහ.
පැතුම් නිස්සංකට පන්දු යවමින් සිටි රවිචන්ද්‍රන් අශ්වින්, ඕවරයේ සෑම පන්දුවක්ම පිට දඟ පන්දු ලෙසින් යැවූවද ඒවා පතිත කළ ස්ථානය, කෝණය මෙන්ම ඒවායේ දඟ කැවීමද එකිනෙකට වෙනස් කළේය. පිතිකරුවා වෙතට එන පන්දුවේ තියුණු දඟකැවීමක් අපේක්‍ෂා කළ නිස්සංක ඉදිරි පාදයට ගියද පිත්තේ යාන්තමින් වැදුණු පන්දුව කඩුලු රකින්නා අත පත්විය.
තමන් වටකරගෙන සිටි පන්දු රකින්නන් ඈතට යැවීමේ අපේක්‍ෂාවෙන් ධනංජය ගැසූ ‘ඉන්සයිඩ්-අවුට්’ පහරින් ඉහළ ගිය පන්දුව පිතිකරුවා අසළින් සිටි ශ්‍රෙයාස් අයියර්ට උඩපන්දුවක් විය. ධනංජයගේ දැවීයාමෙන් පසුව පිටියට පිවිසි චරිත් අසලංක තරමක් වේගවත් ලකුණු රැස්කිරීමක නිරත වූවද ලකුණු සංඛ්‍යාව 121 ක් ව තිබියද පිතිකරුවන් තිදෙනක්ම ආපසු ක්‍රීඩාගාරයට ගිය බැවින්, එතැන් සිට තිබුණේ තරගය නිමා වන්නේ අද දිනයේ කීයටද යන්න පැනය පමණි.
නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 51 ක් ලබාගත් නමුත් තරගයේ තීරණය සම්බන්ධයෙන් අතිරේක ප්‍රශ්නයක් ඇසීමට ඔහු අසමත් වූයේය.
ඉන්දියාව වෙනුවෙන් ලකුණු 175 ක් ලබාගත් රවීන්ද්‍ර ජදේජා, කඩුලු 5 ක් දවාගැනීමත් සමගින් වසර 145 ක ටෙස්ට් ඉතිහාසයේ ටෙස්ට් තරගයකදී ලකුණු 150 ඉක්මවා රැස්කරමින් එම තරගයේම ඉනිමකදී කඩුලු 5 ක් දවාගත් පන්දු යවන්නන් අතර 6 වැන්නා විය.
ශ්‍රී ලංකාව කඩුලු 4 කට ලකුණු 108 ක් ලබාසිටියදී අද දින ක්‍රීඩාව ආරම්භ විය. මොහොමඩ් සාමි සහ ජස්ප්‍රීට් බුම්රා හමුවේ ධෛර්වත් පිතිහරඹයක නිරත වූ නිස්සංක සහ චරිත් අසලංක දෙදෙනා ලකුනු සංඛ්‍යාව 161 දක්වා ඇදගෙන ගියේ ඉදිරිපෙළ පිතිකරුවන්ගේ වගකීම අකුරටම ඉටුකරමිනි.
බුම්රාගේ පන්දුවක් පිත්ත පරයමින් ගොස් අසලංකගේ පා ආවරණයේ වැදීමත් සමගින් ශ්‍රී ලංකා පිලේ විනාශය ආරම්භ විය. බුම්රාගේ ඉල්ලීම විනිසුරුවරයා විසින් ප්‍රතික්ෂේප කරන ලද නමුත් විතීවි සහාය ඉල්ලා සිටි ඉන්දියානුවෝ වමත් පිතිකරුවා පිටියෙන් ඉවත් කරගත්හ. එතැන් සිට ලකුණු 13 ක් ඇතුළත ශ්‍රී ලංකා ඉනිම නිමාවිය.
විස්සයි-20 අධිවේගී ක්‍රිකට් ක්‍රීඩාවත් ‘ටෙස්ට්’ නම්වූ උත්තම කුලයේ ක්‍රිකට් ක්‍රීඩාවත් අතර පහසුවෙන් එහා මෙහාවීමේ හැකියාව මොනවට පෙන්නුම් කළ පැතුම් නිස්සංක, සිය හත්වැනි ටෙස්ට් තරගයේදී හයවැනි වතාවටත් ලකුණු 50 ඉක්මවා ලබාගත්තේය. ඉන් එකක් කොදෙව් පිල හමුවේ ලබාගත් ශතකයකි.
එකම ඕවරයකදී නිරෝෂන් දික්වැල්ල සහ සුරංග ලක්මාල් දෙදෙනාම දවාගත් රවීන්ද්‍ර ජදේජා ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ විනාශකාරයා වූයේ පන්දු 14 ක් ඇතුළත කඩුලු 4 ක් දවාගනිමිනි.
ටෙස්ට් තරගයකදී ලකුණු 150 ඉක්මවා රැස්කරමින් එම තරගයේදීම කඩුලු 5 ක් දවාගත් පන්දු යවන්නෝ
■ විනෝ මන්කාඩ් (ඉන්දියාව)
■ ඩෙනිස් ඇට්කින්සන් (ඕස්ටේ්‍රලියාව)
■ පොලි උම්රිගාර් (ඉන්දියාව)
■ ගාෆීල්ඩ් සෝබර්ස් (බටහිර ඉන්දීය කොදෙව්)
■ මුස්තාක් මොහොමඩ් (පාකිස්තානය)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.