
සිය ටෙස්ට් දිවියේ හොඳම පන්දු යැවීම වාර්තා කළ ශහීන් ෂා අෆ්රීඩි හමුවේ අසරණ වූ බටහිර ඉන්දීය කොදෙව්වෝ ජැමෙයිකාවේ සබීනා උද්‍යාන පිටියේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ලකුණු 150 කට දැවී ගියහ. අනතුරුව ලකුණු 329 ක අභියෝගයක් කොදෙව් පිලට එල්ල කළ පාකිස්තානුවෝ තරගයේ සිව්වැනි දිනය වූ සඳුදා සවස් වන විට තරගයේ පාලනය සියතට ගෙන සිටියහ.
තරගයේ දෙවැනි දිනය සම්පූර්ණයෙන්ම වර්ෂාවෙන් සේදී ගිය නමුත් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට දින 5 ක් අවශ්‍ය බව යළිත් වරක් සනාථ කරමින් සත්කාරක කොදෙව් පිල අමාරුවේ දැමූ සහීන් ෂා අෆ්රීඩි පන්දුව කඩුල්ලට දමාගසමින් කිරන් පවෙල්ගේ ඉනිම නිමා කළේය. ලකුණු 329 ඉලක්කයක් කරා යමින් සිටින කොදෙව්වෝ තරගයේ සිව්වැනි දිනය නිමාවන විට සිය දෙවැනි ඉනිමේදීත් ලකුණු 49 කට කඩුල්ලක් අහිමි කරගෙන සිටියහ.
තුන්වැනි දිනයේ තරගය ආරම්භ කිරීමෙන් පසුව පිට පිටම පන්දු දෙකදී නිකෘමා බෝනර් සහ කයිල් මේයර්ස් දවාගත් මොහොමඞ් අබ්බාස් විනාඩි 2 ක් ඇතුළත ලකුණු පුවරුව කඩුලු 6 කට 105 දක්වා වෙනස් කළේය. එතැන් සිට අෆ්රීඩි කළ පන්දු යැවීම හේතුවෙන් කොදෙව් පිලේ අවසන් කඩුලු 6 ම ලකුණු 45 කට බිඳ වැටිණ. තවමත් 21 හැවිරිදි අෆ්රීඩි ලකුණු 51 කට කඩුලු 6 ක් දවාගත්තේ සිය හොඳම ටෙස්ට් පන්දු යැවීම වාර්තා කරමිනි. මෙම තරගාවලියේ තරග දෙකකදී ඔහු දවාගත් කඩුලු සංඛ්‍යාව 14 ක් වී තිබේ.
මුල් ඉනිමේදී ලකුණු 152 ක වාසියක් තිබුණ නමුත් ඉතිරිවී තිබූ කාලය සීමිත වූ හෙයින් ඉක්මනින් ලකුණු සොයාගිය පාකිස්තානුවෝ දිනය නිමාවීමට පැය එකහමාරකට පමණ කලින් කොදෙව් පිතිකරුවන් නැවතත් පිටියට කැඳවූහ. එතැන් සිට කොදෙව්වන්ගේ ගමන අසීරු විය.
පාකිස්තානය - පළමු ඉනිම කඩුලු 9 ට 302 යි
(බාබර් අසාම් 75, ෆවාඞ් අලාම් 124, මොහොමඩ් රිස්වාන් 31, ෆහීම් අශ්රෆ් 26, ශහීන් අෆ්රීඩි 19, කෙමර් රෝච් 68/3, ජෙඞ්න් සීල්ස් 31/3, ජේසන් හෝල්ඩර් 46/2)
බටහිර ඉන්දීය කොදෙව් - පළමු ඉනිම 150
(නිකෲමා බෝනර් 37, රොස්ටන් චේස් 10, ජර්මේන් බ්ලැක්වුඞ් 33, ජේසන් හෝල්ඩර් 26, මොහොමඩ් අබ්බාස් 44/3, ශහීන් ෂා අෆ්රීඩි 51/6)
පාකිස්තානය - දෙවැනි ඉනිම කඩුලු 6 ට 176
(ඉම්රාන් බට් 37, අබීඞ් අලී 29, අසාර් අලී 22, බාබර් අසාම් 33, හසන් අලී 17, මොහොමඞ් රිස්වාන් නොදැවී 10, ජේසන් හෝල්ඩර් 27/2, අල්සාරි ජෝෂප් 24/2)
බටහිර ඉන්දීය කොදෙව් - දෙවැනි ඉනිම කඩුලු 1 ක් දැවී 49
(ක්‍රෙග් බ්‍රැත්වෙයිට් නොදැවී 17, කිරන් පොලාර්ඩ් 23)


(ඡායාරූප - ඒ.එෆ්.පී. අනුග්රහයෙනි)
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.