Last Update  :  2025-05-05 11:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket අවිශ්ක - චන්දිමාල් රෙඞ්ස් පිල දිනවති

අවිශ්ක - චන්දිමාල් රෙඞ්ස් පිල දිනවති

editorial - 2021 අගෝ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

(රොෂාන් ගුණරත්න)

අවිශ්ක ප්‍රනාන්දු (නොදැවී 82) සහ දිනේෂ් චන්දිමාල් (නොදැවී 51) එක්ව ආරම්භක කඩුල්ල වෙනුවෙන් පැවැත්වූ ලකුණු 133 ක නොබිඳුණු සම්බන්ධතාව හේතුවෙන් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති ආරාධිත විස්සයි20 තරගයකදී දිනේෂ් චන්දිමාල්ගේ රෙඞ්ස් පිලට කඩුලු 10 ක ජයක් හිමිවිය. තරග 3 කට ක්‍රීඩා කළ රෙඞ්ස් පිල මෙම තරගාවලියේදී වාර්තා කළ පළමු ජයග්‍රහණයද මෙය වන්නේය.

නුවන් තුෂාර යවන ලද 16 වැනි ඕවරයේ සිව්වැනි පන්දුව දිනේෂ් චන්දිමාල්ගේ යටිබඬේ වැදීම හේතුවෙන් ඔහුට පිටියෙන් ඉවත්වීමට සිදුවිය. ඒ වනවිට පන්දු 44 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ඔහු ලකුණු 51 ක් රැස්කර සිටියේය.

ආරම්භයේදී ඉතා සෙමින් ලකුණු රැස්කිරීමක නිරතවූ අවිශ්ක ප්‍රනාන්දු තරගය ජයග්‍රහණය කරනා විටදී පන්දු 58 කදී හයේ පහර 6 ක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 82 ක් රැස්කිරීමට සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 144 ක ඉලක්කයක් හඹාගිය රෙඞ්ස් පිල ඕවර 17.3 කදී කිසිවකු නොදැවී ඉලක්කය පසුකර යෑමට සමත්විය. ග්‍රීන්ස් පිලේ නායක අෂාන් ප්‍රියංජන් පන්දු යැවීම සඳහා පන්දු යවන්නන් 6 දෙනෙකු උපයෝගී කරගත්තද ඒ කිසිවකුට චන්දිමාල් හෝ අවිශ්ක දෙදෙනාගෙන් කිසිවකු නතර කළ නොහැකි විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ග්‍රීන්ස් පිලට ඕවර 20 අවසානයේදී කඩුලු 7 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 143 ක් පමණි.

මෙම තරගාවලියේදී පිට පිට රැස්කළ තෙවැනි අර්ධ ශතකයත් වාර්තා කළ කමිඳු මෙන්ඩිස් පන්දු 42 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 66 ක් ලබාගත්තේය. පළමු තරගයේදී ‘ග්‍රේස්’ පිලට එරෙහිව ලකුණු 74 ක් ලබාගත් කමිඳු මෙන්ඩිස් දෙවැනි තරගයේදී බ්ලූස් පිලට එරෙහිව නොදැවී ලකුණු 53 ක් ලබාගත්තේය.

මැද පෙළ පිතිකරු සම්මු අෂාන් පන්දු 20 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 29 ක් රැස් කළේය. කමිඳු මෙන්ඩිස් සහ සම්මු අෂාන් ග්‍රීන්ස් පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට උත්සහ කළද සෙසු පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් අඩු ලකුණු සංඛ්‍යාවකින් ඉනිම අවසන් විය.

තරගාවලියේ පළමු තරගයට ක්‍රීඩා කළ චාමික කරුණාරත්න සිය ඕවර 4 ලකුණු 26 කට සීමාකරමින් කඩුලු 3 ක් දවාගැනීමට සමත්විය. සීකුගේ ප්‍රසන්න ලකුණු 20 කට කඩුලු 2 ක් දවාගනිමින් ග්‍රීන්ස් පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සිය දායකත්වය ලබාදුන්නේය.


ග්‍රීන්ස් පිල - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 143
(කමිඳු මෙන්ඩිස් 66, සම්මු අෂාන් 29, චාමික කරුණාරත්න 26/3, සීකුගේ ප්‍රසන්න 20/2)

රෙඞ්ස් පිල - ඕවර 17.3 කදී කිසිවකු නොදැවී 144
(අවිශ්ක ප්‍රනාන්දු නොදැවී 82, දිනේෂ් චන්දිමාල් නොදැවී 51)

 

 


අදහස් (0)

අවිශ්ක - චන්දිමාල් රෙඞ්ස් පිල දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.