Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket එංගලන්ත ටෙස්ට් පුහුණුකරු ධූරය මැකලම්ට

එංගලන්ත ටෙස්ට් පුහුණුකරු ධූරය මැකලම්ට

editorial - 2022 මැයි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


එංගලන්ත ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස නවසීලන්ත හිටපු නායක බ්‍රෙන්ඩන් මැකලම් පත්කිරීමට එංගලන්ත ක්‍රිකට් මණ්ඩලය තීරණය කළේය. පසුගිය අයි.පී.එල්. තරගාවලි කිහිපයකදී කොල්කටා නයිට් රයිඩර්ස් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මැකලම්, ක්‍රිකට් ක්‍රීඩාවේ පැරණිතම සහ දීර්ඝතම තරග රටාවෙන් එංගලන්ත කණ්ඩායමේ වෙනසක් ඇති කිරීම සඳහා අලුතින් පත් කරන ලද ටෙස්ට් නායක බෙන් ස්ටෝක්ස් සමඟ එක්වනු ඇත.

40 හැවිරිදි වියේ පසුවන මැකලම්, රැකියා වීසා බලපත්‍රය ලබා ගැනීමට යටත්ව, නවසීලන්තයට එරෙහිව ලබන ජුනි මාසයේ 2 වැනිදා ලෝඩ්ස්හිදී ආරම්භ වන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියෙන් ඔහුගේ තනතුරේ වැඩ කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

තරඟකාරී සම්මුඛ පරීක්ෂණ ක්‍රියාවලියේදී පුදුමයට පත් කරමින් මැකලම් ටෙස්ට් පුහුණුකාර ධූරය සඳහා කැපී පෙනෙනම අපේක්ෂකයා බවට පත්කිරීමට එංගලන්ත ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී ටොම් හැරිසන්, ක්‍රිකට් කළමනාකාර අධ්‍යක්ෂ රොබ් කී, උපායමාර්ගික උපදේශක ඇන්ඩෲ ස්ට්‍රෝස් සහ කාර්ය සාධන අධ්‍යක්ෂ මෝ බොබට් යන මහත්වරුන් ඒකමතිකව එකඟ වූහ.

නවසීලන්තයේ උපන් මැකලම් දැනට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී කොල්කටා නයිට් රයිඩර්ස් පිලේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන අතර මින් පෙර (2020) කැරිබියන් ප්‍රිමියර් ලීග් ශූරතාව සඳහා ටි්‍රන්බෑගෝ නයිට් රයිඩර්ස් පිලේ පුහුණුකරු ලෙසද කටයුතු කර ඇත.

ටෙස්ට් තරග 101 කට ක්‍රීඩා කර ඇති මැකලම් 2012 වසරේදී නවසීලන්ත ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට පත්වූ අතර 2016 වසරේදී ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් විශ්‍රාම ගැනීම දක්වාම නායකත්වය දැරීය.

ඔස්ටේ්‍රලියාවට එරෙහිව පැවැති අළු බඳුන තරගාවලියේදී ලැබූ දැවැන්ත පරාජයෙන් මෙන්ම බටහිර ඉන්දීය කොදෙව්වන් අතින් පරාජයට පත්වීමෙන් පසු ලෝක ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ පතුළටම වැටුණු කණ්ඩායමක වාසනාව වෙනස් කිරීම මැකලම්ට පැවරී ඇත.

“එංගලන්ත ටෙස්ට් කණ්ඩායම ධනාත්මක ලෙස නැවත ගොඩනගමින් වඩාත් සාර්ථක යුගයක් කරා ගෙන යාමට මට මෙම අවස්ථාව ලබා දීම ගැන මම බෙහෙවින් සතුටු බව කියන්න කැමැතියි” යයි තමා තෝරා ගැනීම ගැන මැකලම් මහතා පැවසීය.

”මෙම ධූරය භාර ගැනීමේදී, කණ්ඩායම දැනට මුහුණ දෙන සැලකිය යුතු අභියෝග පිළිබඳව මම හොඳින් දන්නවා. එම අභියෝග වලට මුහුණ දෙමින් වඩාත් ශක්තිමත් කණ්ඩායමක් ලෙස නැගී සිටීම සඳහා ඔවුන්ට උපකාර කිරීමට ඇති මගේ හැකියාව ගැන මම තරයේ විශ්වාස කරනවා”

”බෙන් ස්ටෝක්ස් කියන්නේ වෙනසක් ඇති කරමින් ඔහු වටා කණ්ඩායම ගොඩනැගීමට සුදුසු පරිපූර්ණ චරිතයක්. සාර්ථක කණ්ඩායමක් ගොඩනැගීම සඳහා ඔහු සමඟ සමීපව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙනවා” යයි ද මැකලම් පුහුණුකරු ධූරයට පත්වීමෙන් පසුව වැඩි දුරටත් පැවසීය.

- 2079


අදහස් (0)

එංගලන්ත ටෙස්ට් පුහුණුකරු ධූරය මැකලම්ට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.