Last Update  :  2024-04-27 10:51:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Big Matches 90 වැනි ශාන්තුවරයන්ගේ සටනට ඩයලොග් අනුග්‍රහය

90 වැනි ශාන්තුවරයන්ගේ සටනට ඩයලොග් අනුග්‍රහය

editorial - 2024 මාර් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ වසරේදීත් ශාන්ත ජෝසප් විද්‍යාලය සහ ශාන්ත පීතර විදුහල් අතර පැවැත්වෙන මහ ක්‍රිකට් තරගය සඳහා ඩයලොග් ආසියාටා සමාගම පූර්ණ අනුග්‍රහය දක්වයි. ශාන්ත පීතර විද්‍යාලය සහ ශාන්ත ජෝෂප් විද්‍යාලය කොළඹ නගර සීමාව ඇතුළත පිහිටි දිගු ඉතිහාසයක් ඇති කතෝලික පාසල් දෙකකි. මෙම පාසල් අතර 90 වැනි වරටත් පැවැත්වෙන දෙදින තරගය දිගු කලක සිටම ‘ශාන්තුවරයන්ගේ සටන‘ ලෙසින් හැඳින්වේ. 

ගරු මොරිස් ජේ. ලා-ගෝ පියනම අනුස්මරණ කුසලානය වෙනුවෙන් තරග වදින ශාන්ත පීතර විද්‍යාලය සහ ශාන්ත ජෝෂප් විද්‍යාල අතර මහ තරගය මාර්තු මස 22 සහ 23 දිනයන්හි කොළඹ එස්.එස්.සී. පිටියේදී මහත් උත්කර්ශවත් ආකාරයෙන් පැවැත්වෙයි. 

තරගයේ ප්‍රධාන අනුග්‍රාහකයා වන ඩයලොග් ආසියාටා සමාගම විසින් ශාන්තුවරයන්ගේ සටන පැවැත්වෙන දින දෙකේදීත්, සීමිත ඕවර තරගයත් සජීවී ලෙසින් විකාශය කිරීමට කටයුතු සම්පාදනය කර තිබේ. ඩයලොග් ටෙලිවිෂන් (Dialog Television) හෝ චැනල් අංක 126 ඔස්සේ විකාශය වන (ThePapare TV HD) ඔස්සේත්, ThePapare.com වෙබ් අඩවිය ඔස්සේ නැතහොත් Dialog ViU යෙදවුම ඔස්සේ මෙම තරග සජීවී ලෙසින් නැරඹීමේ අවස්ථාව පාසල් දෙකෙහිම ආදි සිසුන්ට මෙන්ම සාමාන්‍ය ක්‍රිකට් ලෝලීන්ටත් උදාවෙයි. 

‘සාන්තුවරයන්ගේ සටන’ පළමු ඉනිම ඕවර 60 කට සීමා කරන ලද තරගයකි. 

මෙවර මහ ක්‍රිකට් තරගයේදී ශාන්ත ජෝෂප් විදුහල් කණ්ඩායම පස්වැනි වසරේ වර්ණලාභියකු වන ලහිරු අමරසේකර විසින් මෙහෙයවනු ලබයි. අතර බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් කණ්ඩායම ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ සාමාජිකයකු වන විශාන් හැලඹගේ විසින් මෙහෙයවනු ලබයි. 

“ශාන්තුවරයන්ගේ සටන හෙවත් ජෝ - පීට් තරගය, ශ්‍රී ලංකාවේ පාසල් ක්‍රිකට් දින දර්ශනයේ කැපී පෙනෙන තරගයක්. 90 වැනි වරටත් පැවත්වෙන මෙම ඓතිහාසික තරගයේදී දෙපිලේම ක්‍රීඩකයන් විසින් පෙන්වනු ලබන තරගකාරීත්වය, ක්‍රිකට් ක්‍රීඩාවේ ගෞරවනීය සම්ප්‍රදායයන් ආරක්‍ෂා කරගනිමින් දිගහැරෙනු ඇතැයි මා විශ්වාස කරනවා. ඒ සඳහා අපගේ දිගුකාලීන සහකරුවා වන ඩයලොග් ආසියාටා සමාගමට (Dialog Axiata PLC) මෙන්ම ඔවුන්ගේ නොසැලෙන සහය වෙනුවෙන් මගේ හෘදයංගම කෘතඥතාව පුද කරනවා”යයි ශාන්ත පීතර විද්‍යාලයේ විද්‍යාලාධිපති, ගරු රෝහිත රුදි්‍රගු පියතුමෝ පැවසූහ.

ශාන්ත පීතර විද්‍යාලාධිපතිතුමන්ගේ වදන්ම ප්‍රතිරාව කරමින් කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලයේ අදියුරු පියතුමන් වන ගරු රංජිත් අන්ද්‍රාන්දි පියතුමන් ප්‍රකාශ කළේ ‘ශාන්තුවරයන්ගේ සටන’ සම්භාවනීය කතෝලික අධ්‍යාපන ආයතන දෙකක් වන ශාන්ත පීතර විද්‍යාලයත් ශාන්ත ජෝශප් විද්‍යාලයත් අතර පැවැත්වෙන උත්කර්ෂවත් උත්සවයක් බවයි. 

“ශාන්තුවරයන්ගේ සටනට පොහොසත් ඉතිහාසයක් තියෙනවා. මෙවර තරගයේ දින දෙකක් පුරා කණ්ඩායම් දෙකම, තරුණ හා මහලු පීතරයන්ගේ මෙන්ම ජොසපියානුවන්ගේත් සිත් ඇදගන්නා සුළු උද්යෝගිමත් ක්‍රිකට් ක්‍රීඩාවක නිරත වෙමින්, අතීතයේ සිට පැවතෙන ගෞරවනීය සම්ප්‍රදායන් ප්‍රදර්ශනය කරනු ඇතැයි මට විශ්වාසයි. ඒ සඳහා පාසල් දෙකේම ක්‍රීඩකයන්ට මෙන්ම ඔවුන්ගේ නායකයින්ට මගේ ශුභාශිංසන පිරිනමනවා” යයි ද ගරු රංජිත් අන්ද්‍රාන්දි පියතුමෝ ප්‍රකාශ කළහ. 

“මහ ක්‍රිකට් තරග පැවැත්වෙන මාර්තු මාසය ශ්‍රී ලාංකීය පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ තීරණාත්මක මාසයකි. ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම් නියෝජනය කිරීමට සූදානම් වන අනාගත ශූරයන් පෝෂණය කෙරෙනුයේ මෙම සුවිශේෂී ක්‍රිකට් සංදර්ශන වලින්. ඒ සඳහා අපගේ පූර්ණ සහයෝගය අඛණ්ඩවම ලබා දීමට හැකිවීම ගැන අපි සතුටට පත්වෙනවා”  යයි ඩයලොග් ආසියාටා සමාගමේ (Dialog Axiata PLC) හි සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා පැවසීය. 

“විශිෂ්ට මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩාවක් කෙරෙන මාසයක් සඳහා සියලුම කණ්ඩායම් සහ ක්‍රීඩකයින්ට මම මගේ හෘදයාංගම ශුභාසිංසන පිරිනමනවා” යයි ද ලසන්ත තෙවරප්පෙරුම මහතා වැඩිදුරටත් කීවේය. 

දෙපිල අතර මේ දක්වා පැවැති මහ තරග 89 දී ශාන්ත ජෝසප් විද්‍යාලය ජයග්‍රහණ 12 ක් සමඟින් පෙරමුණ ගෙන සිටී. ඔවුන්ගේ අවසන් ජයග්‍රහණය වාර්තා වූයේ 2008 වසරේදී රුවන්ත ප්‍රනාන්දුපුල්ලේගේ නායකත්වයෙනි. මහ තරග 10 ක් ජයගෙන සිටින ශාන්ත පීතර විද්‍යාලය අවසන් වරට මහ තරගය ජයගත්තේ 2016 දීය. ඒ විනු මොහොට්ටිගේ නායකත්වය යටතේ ක්‍රීඩා කරමිනි. අවසන් වරට ජයග්‍රහණය ලබාගත් ශාන්ත පීතර විද්‍යාලය සතුව ගරු මොරිස් ජේ. ලා-ගෝ පියනම අනුස්මරණ කුසලානය තවදුරටත් පවතී. 

දෙපිල අතර පවතින එකිනෙකා පරයන තරගකාරිත්වය හේතුවෙන් මහ ක්‍රිකට් තරග 67 ක් ජය පරාජයෙන් තොරව නිමා වී තිබේ. 
ශාන්ත ජෝෂප් විදුහල සහ ශාන්ත පීතර විදුහල අතර වාර්ෂික සීමිත ඕවර ක්‍රිකට් තරගය ගරු පීටර් ඒ. පිල්ලේ පියතුමන් අනුස්මරණ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන්නකි. 1975 දී ආරම්භ කරන ලද මෙම සීමිත ඕවර තරගය මෙවර පැවැත්වෙන්නේ 50 වැනි වරටය. ශ්‍රී ලංකාවේ පාසල් දෙකක් අතර පැවැත්වෙන වාර්ෂික සීමිත ඕවර තරගයක් එහි 50 වැන්න පසුකරන්නේ පළමු වැනි වතාවටය. මෙම තරගය අප්‍රේල් 6 වැනිදා කොළඹ එස්.එස්.සී. පිටියේදී පැවැත්වෙන අතර එය පාසල් දෙකක් අතර පැවැත්වෙන සීමිත ඕවර තරගයක් සඳහා වැඩිම ප්‍රේක්‍ෂක පිරිසක් කැඳවන තරගයක් ද වෙයි. 

සීමිත ඕවර තරග ඉතිහාසයේදීත් තරග 25 ක් ජයගත් ශාන්ත ජෝෂප් විද්‍යාලය ඉදිරියෙන් සිටී. ශාන්ත පීතර විද්‍යාලය සීමිත ඕවර තරග 21 ක් ජයගෙන ඇති අතර තරග දෙකක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ. තරගයක් ලකුණු සමවීමෙන් අවසන් විය. පසුගිය වසරේදී පැවැති සීමිත ඕවර තරගයේදී ඉතාමත් තියුණු තරගයකින් පසුව ජයගැනීමට ශාන්ත ජෝෂප් විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වූහ. 

ශාන්ත ජෝෂප් විදුහල මෙන්ම ශාන්ත පීතර විදුහල ද ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමට සුපිරි තරු රැසක් දායාද කළ පාසල් දෙකකි.  

දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, චමින්ද වාස්, දුනිත් වෙල්ලාලගේ, ෂෙවෝන් ඩැනියෙල්, තිසර පෙරේරා, ඈෂ්ලි ද සිල්වා, මයිකල් වැන්ඩොට්, රොෂේන් සිල්වා, ප්‍රියමාල් පෙරේරා සහ සධීර සමරවික්‍රම ශාන්ත ජෝෂප් විද්‍යාලයෙන් ක්‍රිකට් සිප් සතර හදාරා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෝ වෙති. 

රෝයි ඩයස්, රුමේෂ් රත්නායක, විනෝදන් ජෝන්, අමල් සිල්වා, රසල් ආනල්ඞ්, කෞෂාල් ලොකුආරච්චි, මලින්ද වර්ණපුර, ඇන්ජලෝ පෙරේරා, ජනිත් ලියනගේ සහ දුෂාන් හේමන්ත ශාන්ත පීතර විදුහල් ක්‍රිකට් පිටියෙන් ක්‍රීඩාව අරඹා ජාතික කණ්ඩායමට ඇතුළත් වූවෝ වෙති. 

ඩයලොග් ආසියාටා සමාගම ක්‍රිකට් පමණක් නොව ශ්‍රී ලංකාවේ වොලිබෝල්, දැල්පන්දු සහ විද්යුත් ක්‍රීඩා (Esports) වලත් ජාතික කණ්ඩායම්වල සාඩම්බර අනුග්‍රාහකයා වේ. එලෙසම ඩයලොග් ආසියාටා සමාගම ජාතික පැරා ක්‍රීඩා උළෙලට සහ ලෝක පැරලිම්පික් ක්‍රීඩා උළෙලට ගිය ශ්‍රී ලංකා කණ්ඩායම් වලටද සවිබලය දෙන අතරේ ශ්‍රී ලංකා ගොල්ෆ් (විවෘත) තරගාවලිය සඳහාත් මූලික අනුග්‍රාහකයා ද විය. තවද, හෙට දවසේ ශූරයින් සවිබල ගැන්වීම සඳහා වන කැපවීමට අනුකූලව, ඩයලොග් ආසියාටා සමාගම (Dialog Axiata PLC) ජනාධිපති රන් කුසලාන වොලිබෝල්, ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ දැල්පන්දු තරඟාවලි මෙන්ම පාසල් රග්බි තරඟාවලි සඳහාත් අඛණ්ඩව අනුග්‍රහය දක්වයි.


අදහස් (0)

90 වැනි ශාන්තුවරයන්ගේ සටනට ඩයලොග් අනුග්‍රහය

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.