Last Update  :  2025-12-31 19:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics සුගතදාස ක්‍රීඩාංගණයට හානි වන බවට චෝදනා

සුගතදාස ක්‍රීඩාංගණයට හානි වන බවට චෝදනා

editorial - 2025 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

කොළඹ සුගතදාස එළිමහන් පිටියේ ඊයේ (28) පස්වරුවේ ඇමැරිකානු පොප් ගායකයකුගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට සූදානම් කර තිබූ සංගීත ප්‍රසංගයක් අත්හිටුවූ බව වාර්තාවේ.

ක්‍රීඩාංගණයට හා එහි කෘතිම ධාවන පථයට සිදු විය හැකි හානී පිළිබදව සැලකිල්ලට ගනිමින් සංගීත ප්‍රසංගය සුගතදාස පිටියේදී පැවැත්වීමට ගත් තීරණය මෙලෙස අවලංගු කළ බව වැඩිදුරටත් වාර්තාවේ.

කෙසේවූවත් සංගීත ප්‍රසංගය අත්හිටුවන විටත් ප්‍රසංග වේදිකාව සකස් කිරීම සඳහා අවශ්‍ය උපකරණ හා බඩු බාහිරාදිය සුගතදාස ක්‍රීඩංගණයට රැගෙන විත් ගොඩ ගසා තිබුණි.

ශ්‍රී ලංකාවේ අංගසම්පූර්ණ ප්‍රමිතිගත කෘත්‍රිම මලල ක්‍රීඩා ධාවන පඨයකින් සමන්විත එකම හා විශාලතම එළිමහන් ක්‍රීඩාංගණය ලෙස සුගතදාස ක්‍රීඩාංගණය සැලකේ. එහි සංගීත ප්‍රසංග පැවැත්වීමෙන් ධාවන පඨයට හා තණතීරුවට ඇති විය හැකි අනර්ථකාරී තත්වයන් පිළිබදව ක්‍රීඩා ක්ෂේත්‍රයේ පාර්ශව වෙතින් සුගතදාස ක්‍රීඩා සංවර්ධන අධිකාරියට චෝදනා එල්ල විය.

එහි එකවර 25000 කට පමණ අසුන් ගත හැකිය. කෙසේවූවත් ඉහත සංගීත ප්‍රසංගය පැවැත්වීමට දැරූ උත්සහයෙන් ක්‍රීඩාංගණයට දැනටමත් අලාභ හානී සිදුවී ඇතැයි එල්ලවී තිබෙන චෝදනා සුගතදාස ක්‍රීඩා සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කරයි.

ඒ පිළිබදව සුගතදාස ක්‍රීඩා සංකිර්ණ අධිකාරියේ සභාපති ජී.එන්. රංජිත් විමලරත්න මහතාගෙන් ‘ලංකාදීපය’ කළ විමසුමකදී මෙසේ පැවැසීය.

‘‘මේ සම්බන්ධයෙන් ඉදිරියේදී  ක්‍රීඩා ඇමැතිවරයා කරුණු පැහැදිලි කිරීමක් කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඔය  කියන කාරණා හේතුවෙන් සුගතදාස ක්‍රීඩාංගණයේ තණකොළ ගහකටවත්  හානියක් වෙලා නෑ.

   ඔය කියපු සංගීත ප්‍රසංගයට විශාල පිරිසක් රැස් කරන්න හැකි නිසයි ඔවුන් සුගතදාස ක්‍රීඩාංගණය ලබා ගන්න උනන්දු වුණේ. සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ ව්‍යවස්ථාවෙම සඳහන් වෙනවා ක්‍රීඩා කටයුතුවලට විතරක් නෙමේ විනෝදාංශ කටයුතුවලටත් එය මිලදී ගත හැකි බවට.

ඒ නිසා සුදුසු විනෝදාංශ කටයුතුවලට එළිමහන් ක්‍රීඩාංගණය වෙන් කරවා ගන්න බාධාවක් නෑ. එය පවත්වා ගෙන යන්න වගේම නඩත්තු කටයුතු සඳහාත් වාර්ෂිකව විශාල වියදමක් දරන්න වෙලා තිබෙනවා. ඒකට දැනට එයින් ලැබෙන ආදායම ප්‍රමාණවත් නෑ.

ඒ නිසා විනෝදාංශ වැඩසටහන්වලටත් ක්‍රීඩාංගණය වෙන් කෙරෙනවා. ඒ වගේම එහි ක්‍රීඩා කටයුතුවලට බාධා නොවෙන ආකාරයෙන් එය පවත්වා ගෙන යන්නත් අධිකාරිය උනන්දුවී සිටිනවා. ඒ වගේම ක්‍රීඩංගණය වෙන් කිරීමේදී විශේෂ  තැන්පතුවකුත් අපි රදවා ගන්නවා අවශ්‍ය වුණොත් අලාභ අය කර ගන්න. මෙහිදී උනන්දුවී සිටින්නේ හැකිතාක් මහභාණ්ඩාගාරයට බරක් නොවී ක්‍රීඩා සංකීර්ණය පවත්වා ගෙන යන්නයි. සුගතදාස පිටියේ දැන් තිබෙන අබලන් කෘතිම ධාවන පඨය ගලවා ඉවත් කරන්න සූදානම් කරලා තිබෙන අතරයි අපි මෙම සංගීත ප්‍රසංගයට ක්‍රීඩාංගණය වෙන් කරලා දුන්නේ. කොහොම උනත් ක්‍රීඩා පාර්ශව වෙතින් ඒ සම්බන්ධයෙන් පළවුණු අදහස් කෙරෙහි අවධානය යොමු කරලා තමයි ඇමැතිවරයා සංගීත ප්‍රසංගය අත්හිටුවන්න උපදෙස් දුන්නේ.”


අදහස් (0)

සුගතදාස ක්‍රීඩාංගණයට හානි වන බවට චෝදනා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.