Last Update  :  2024-05-18 19:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ලෝක ශූරතාවලියේ ජය ඇමෙරිකාවට

ලෝක ශූරතාවලියේ ජය ඇමෙරිකාවට

editorial - 2022 ජුලි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

දින 10ක් පුරා ඇමරිකාවේ ඔරියන් ප්‍රාන්තයේ ‘‘ඉයුජින්’’ නුවරදී නිමාවට පත්වූ 18 වැනි ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය සත්කාරක ඇමරිකාවට ජයගෙන දෙමින් නිමාවට පත්විය. ඒ ඔවුන් රන් පදක්කම් 13ක් දිනා ගනිමිනි.

ඇමරිකාවේ වේලාවෙන් තරගාවලිය ඉරිදා රාත්‍රි 7.50ට නිමාවට පත්විය. ඒ වන විට එය ශ්‍රී ලංකා වේලාවෙන් සඳුදා (25) උදෑසන 8.20 බවට පත්ව තිබුණි.

දෙවසරකට වරක් ලෝක මලල ක්‍රීඩා තරු සිය දක්ෂතා මැන බැලෙන ලෝක මලල ක්‍රීඩා තරගාවලිය රටවල් 184කගේ සහභාගිත්වයෙන් පැවැත්වුණි. එහිදී ඉතියෝපියාව පදක්කම් සටහනේ දෙවැනි තැන ගත්තේ රන් පදක්කම් හතරක් දිනා ගනිමිනි. එහෙත් ප්‍රසාද ලකුණු සටහනට අනුව තරගාවලියේ දෙවැනි ස්ථානය හිමිව ඇත්තේ රන් පදක්කම් දෙකක් පමණක් දිනා ගත් ජැමෙයිකාවටය.

එහෙත් රන් පදක්කම් දෙකට අමතරව රිදී පදක්කම් හතක්, එක් ලෝකඩ පදක්කමක්, සිව් වැනි ස්ථාන දෙකක්, පස් වැනි ස්ථාන හා හය වැනි ස්ථාන 3ක බැගින්ද හා හත් වැනි ස්ථාන හතරක් ලබා ගත් ජැමෙයිකාවේ මුළු ප්‍රසාද ලකුණු ගණන 110කි.

පදක්කම් සටහනේ දෙවැනි තැනට පත්වුණත් ඉතිසෝපියාවේ දක්ෂතාවන්හි මුළු ප්‍රසාද ලකුණු එකතුව 106ක් පමණි. ජයග්‍රාහී ඇමරිකාව රිදී පදක්කම් 9ක් හා ලෝකඩ පදක්කම් 11කට අමතරව ඉසව් සිව් වැනි ස්ථාන පහක්, පස් වැනි ස්ථාන හයක්, හය වැනි ස්ථාන 12ක්, හත්වැනි ස්ථාන එකක්, අටවැනි ස්ථාන අටක් ලබමින් ඔවුන් එකතු කර ගත්  මුළු ප්‍රසාද ලකුණු ගණන 328කි.

ප්‍රසාද ලකුණු දෙකක වෙනසකින් (104) මෙවර තරගාවලියේ සිව් වැනි ස්ථානය කෙන්යාවට හිමි විය. ඔවුන් ද දිනා ඇති රන් පදක්කම් ගණන දෙකකි. පදක්කම් සටහනට අනුව රන් පදක්කම් දිනා ගත් රටවල් ගණන 29කි. රටවල් 45ක් තරගාවලිය නිමාවේදී කුමන හෝ පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබේ.

ඇමරිකාව අවසන් වරට ඩෝහා-කටාර්හිදී පැවැති 2019 ලෝක මලල ක්‍රීඩා තරගාවලියේදීත් ජයග්‍රහකයා වන අතර, ඒ රන් පදක්කම් 14ක් දිනා ගනිමිනි.

ජයග්‍රාහී ඇමරිකාව මෙදා මීටර් 100, මීටර් 200, මීටර් 400, මීටර් 110 කඩුලු, යගුලිය විසි කිරීම, මීටර් 4X400 සහ පිරිමි ඉසව්වලින් හා මීටර් 800, මීටර් 400- කඩුලු, රිටි පැනීම, යගුලිය විසි කිරීම, මිටිය විසි කිරීම, මීටර 4x400, මීටර 4x100 සහ කාන්තා ඉසව්වලින් රන් පදක්කම් දිනා ගත්තේය.

මැරතන් කාන්තා හා පිරිමි ඉසව් දෙක හැරුණු විට මීටර 5000 හා මීටර 10,000 යන කාන්තා ඉසව් දෙකේ ද රන් පදක්කම් අත්කර ගැනීමට එහිදී ඉතියෝපියාවට හැකි විය.

රන් පදක්කම් දිනා ගත් චීනය හැරෙන්නට ආසියාවේ සිටින රටවල් ගණන අතර ජපානය, කසකස්තානය, කටාර් රාජ්‍යය ද විය.

අසල්වැසි ඉන්දියාවට මෙවර අත්කර දුන් එකම පදක්කම නිරාජ් චොෆ්රා හෙල්ල විසිකිරීම (පිරිමි) ඉසව්වෙන්  මීටර 87.58ක එල්ලයකට ලබාගැනීමෙනි. එය ඉන්දියාව ඔලිම්පික් ඉතිහාසයේ දිනා ගත් පළමු රන් පදක්කම වීම කැපී පෙනුණි.

කෙසේ වුවත් වසරක කාලයකින් පසුව මෙවර ලෝක ශූරතාවලියට සහභාගිවීමේදී ඔහු දෙවැනි ස්ථානයට පත්ව තිබේ. ග්‍රෙනඩාවේ ඇන්ඩර්සන් පීටර්සන්ට (මීටර 90.54) ඔහු එහිදී පරාජය විය.

වාර්තා වන පරිදි චොෆ්රා එංගලන්තයේ ‘‘මැන්චෙස්ටර්’’ නුවරදී ආරම්භ වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගි නොවීමට තීරණය කර තිබේ. ඔහුගේ මීළඟ තරග වැදීම වූයේ එයයි.

ඉන්දියාව චොෆ්රාගේ රිදී පදක්කම තුළින් මෙවර ලෝක ශූරතාවලියේ 34 වැනි ස්ථානයට පත්ව තිබුණි. ලෝක ශූරතාවලියේ ස්ථාන ගත කිරීම් අතරින් පාකිස්තානය 60 වැනි ස්ථානයට පත්ව තිබුණි. හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක අර්ෂාඩ් නදීම් ඉසව්වේ පස් වැනි ස්ථානය ලැබීමෙන් රැස් කළ ප්‍රසාද ලකුණු දෙකකට අනුව පාකිස්තානය 60 වැනි ස්ථානය ලබා තිබුණි.

‘‘ඉයුජින්’’ ලෝක තරගාවලියේදී ලෝක වාර්තා තුනක් හා තරග වාර්තා 13ක් සටහන් වී තිබුණි. මීටර 400 කඩුලු (කාන්තා), මීටර 100 කඩුලු (කාන්තා - අවසන් පූර්ව), රිටි පැනීම (පිරිමි) යන ඉසව් තුනෙන් එම ලෝක වාර්තා වාර්තා විය.

මෙවර ලෝක තරගාවලියේදී රන්, රිදී හා ලෝකඩ පදක්කම්ලාභීන්ට කේවල ඉසව් සඳහා ඇමරිකානු ඩොලර් 70000, 35,000 22000ක් බැගින් ද හා අට වැනි ස්ථානය තෙක් ඩොලර් 5000ක් දක්වා ද මුදල් ත්‍යාග ප්‍රදානය කෙරුණි.

කණ්ඩායම් (සහය දිවීමේ) ඉසව් සඳහා රන්, රිදී හා ලෝකඩ පදක්කම් වෙනුවෙන් ප්‍රදානය කෙරුණු මුදල ඩොලර් 80000, 40,000 හා 20,000 බැගිනි.

2019 ඩෝහා-කටාර් තරගාවලියේදී තහනම් උත්තේජක චෝදනාවක් හේතුවෙන් පැනවුණු තහනමක් නිසා නිල රාජ්‍ය නාමයෙන් තරග නොවැදුණු රුසියාවට මෙවර යුක්රේනය ආක්‍රමණය කිරීම හේතුවෙන් තරගාවලිය තහනම් කෙරුණි.

ඒ අනුව ඩෝහා-කටාර් තරගාවලියේදී ලෝක මලල ක්‍රීඩා ධජය යටතේ තරග වැදුණු රුසියාව රන් පදක්කම් 2ක්, රිදී පදක්කම් 3ක් හා එක් ලෝකඩ පදක්කමක් දිනා තිබේ.

රුසියාවේ ආක්‍රමණයට ලක්ව සිටින යුක්රේනය මෙවර එක් රිදී පදක්කමක් හා එක් ලෝකඩ පදක්කමක් දිනා තරගාවලියේ 21 වැනි ස්ථානයට පත්ව තිබුණේ ප්‍රසාද ලකුණු 22ක් රැස් කරමිනි.

මෙවර ලෝක තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනා මූලික වටයෙන්ම පරාජයට පත්වූහ. මීළඟ ලෝක මලලක්‍රීඩා තරගාවලිය 2023 වසරේදී බුඩාපෙස්ට් නුවරදී පැවැත්වේ. මෙවර පැවැති ලෝක මලලක්‍රීඩා ශූරතාවලිය නියමාකාරයෙන් වසර 2021 දී පැවැත්වීමට නියමිතව තිබුණත් කොවිඩ් වසංගතය හේතුවෙන් එය මෙම වසරට (2022) කල්දැමීය.


අදහස් (0)

ලෝක ශූරතාවලියේ ජය ඇමෙරිකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.