Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics යොවුන් ක්‍රීඩා උළෙලට මලල ක්‍රීඩා ඉසව් 64 ක්
ජාතික යොවුන් ක්‍රීඩා

යොවුන් ක්‍රීඩා උළෙලට මලල ක්‍රීඩා ඉසව් 64 ක්

editorial - 2021 දෙසැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

වයස 20න් පහළ හා 20න් ඉහළ වයස් කාණ්ඩ දෙකකින් කාන්තා හා පිරිමි මලල ක්‍රීඩා ඉසව් 64ක් පැවැත්වෙන 33 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙල ලබන ඉරිදා (19 වැනිදා) සිට කොළඹ සුගතදාස පිටියේදී පැවැත්වීමට නියමිතය.

එය ලබන බදාදා දක්වා (20, 21, 22) සිවු දිනක් පැවැත්වේ. මෙරට රාජ්‍ය අනුග්‍රහයෙන් සංවිධානය කෙරෙන දෙවැනි විශාලතම ක්‍රීඩා උළෙලේ සෙසු ක්‍රීඩා ඉසව් 16ක තරගාවලි මේ වන විට පවත්වා අවසන් කර තිබේ.

මහරගම තරුණ සේවා සභාවේ ඊයේ (14 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී එහි සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් දමිත වික්‍රමසිංහ මහතා පැවැසුවේ, මලල ක්‍රීඩා තරගාවලියේ වෙනදා දක්ෂතම ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන් සිවු දෙනාට පිරිනැමෙන යතුරුපැදි ප්‍රදානයට මෙවර රටේ දැන් උද්ගතව පවතින විනිමය ප්‍රශ්නය බලපෑමක් කෙරී ඇති බවයි.

ඒ හේතුවෙන් ඒ වෙනුවට ඔවුන් සඳහා විශේෂ මුදල් ත්‍යාග ප්‍රදානය කිරීමට කටයුතු යොදා ඇතැයි ද ඔහු එහිදී පැවැසීය. රටේ වෙනත් ක්‍රීඩා උත්සව කොවිඩ් වසංගතය හමුවේ අවලංගු කර තිබෙන තත්ත්වයක් තුළ වුවත්, මෙරට තරුණ පරපුරේ ක්‍රීඩා දක්ෂතා වෙනුවෙන් මෙම වසරට නියමිත යොවුන් ක්‍රීඩා උළෙල පවත්වා අවසන් කිරීමට යෞවන කටයුතු ඇමැතිවරයා ලෙස නාමල් රාජපක්ෂ මහතා උපදෙස් දීම තුළ එය ඉරිදා සිට කොවිඩ් නියමයන්ට යටත්ව පැවැත්වෙන බව ද දමිත වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවැසීය.

කොවිඩ් වසංගතයේ බලපෑම් තුළ පසුගිය වසරට නියමිතව තිබූ 32 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙල අත්හැර දැමීමට ජාතික තරුණ සේවා සභාව තීරණය කළේය.

රුපියල් 150,000ක්, 100,000ක් සහ 75,000ක් වන පරිදි ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව, අනුශූරතාව හා තෙවැනි ස්ථානය ලබාගන්නා දිස්ත්‍රික්ක වෙත තිළිණ කෙරේ.

අවසන් වරට අනුරාධපුරයේදී පැවැති 2019 වසරට නියමිත 31 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව දිස්ක්‍රික් හා කලාප 26ක් අතුරින් ගම්පහ දිස්ත්‍රික්කය විසින් දිනා ගන්නා ලදී. කුරුණෑගල දිස්ත්‍රික්කය අනුශූරතාව ලැබීය. එම ක්‍රීඩා උළෙල පැවැත්වූයේ වසර 2020 පෙබරවාරි 27 වැනිදා සිට මාර්තු 1 වැනිදා දක්වාය.

එතැන් සිට රට තුළ උද්ගත වූ කොවිඩ් වසංගතයේ බලපෑම 2020 ක්‍රීඩා උළෙල අවලංගු කිරීමට ද හේතු විය.

ඉරිදා (19 වැනිදා) පස්වරු 3.30ට ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය නාගරික සංවර්ධන රාජ්‍ය ඇමැති නාලක ගොඩහේවා, ග්‍රාමීය පාසල් යටිතල පහසුකම් රාජ්‍ය ඇමැති තේනුක විදානගමගේ, ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් යන මහත්වරුන් ඇතුළු පිරිසකගේ සහාගිත්වයෙන් පැවැත්වේ. ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනය ක්‍රීඩා උළෙලේ සංවිධාන කටයුතු සඳහා සහයෝගය දක්වයි.

33 වැනි ජාතික යොවුන් ක්‍රීඩා උළෙලේ ශූරතා කුසලාන ශ්‍රී ලංකා යෞවන සමාජ සම්මේලනයේ ලේකම් දිල්ෂාන් චතුරංග ජයකුරු මහතා විසින් ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත වික්‍රමසිංහ මහතාට පිළිගැන්වූ අයුරු.එහි සහකාර අධ්‍යක්ෂ (ක්‍රීඩා) කේ.එම්. සංජීව, අධ්‍යක්ෂ (පුහුණු) රසිත දෙලපල, යෞවන සමාජ සම්මේලනයේ ජාතික සංවිධායක මිහිඳු තුසිත් කාවින්ද යන මහත්වරු ද මෙහි වෙති.


අදහස් (0)

යොවුන් ක්‍රීඩා උළෙලට මලල ක්‍රීඩා ඉසව් 64 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.