Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics යුපුන් පරිසාධන මට්ටම අබියස

යුපුන් පරිසාධන මට්ටම අබියස

editorial - 2022 මැයි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මීටර 100 (පිරිමි) ඉසව්වෙන් තත්පර 10.06 ක දක්ෂතාවයක් දක්වා ඇති යුපුන් අබේකෝන් සිය වේගය තවත්  තත්පරයෙන් සියයෙන් එකක් වර්ධනය කර ගැනීමට සමත් වන්නේ නම් එළඹෙන ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට සුදුසුකම් ලාභීන්ගේ ලේඛනයෙන් නිර්දේශ ලබා ගනියි.

එළඹෙන ජුලි 15 වැනිදා සිට 24 වැනිදා දක්වා ඇමරිකාවේ ‘ඉයුජින්’ නගරයේ දී පැවැත්වෙන 18 වැනි ලෝක මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලබන ජුනි 27 වැනිදා දක්වා අවස්ථාව හිමිව තිබේ. මෙතෙක් ඒ සඳහා ශ්‍රී ලංකාවෙන් කිසිදු ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් නිර්දේශ ලබා නොමැත.

කෙසේ වුවත් පසුගිය බදාදා ජර්මනියේ දී පැවැති ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක යුපුන් අබේකෝන් තත්පර 10.06ක් දක්වා දක්ෂතා වර්ධනය කර ගැනීම නිසා මීළඟ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලබාගැනීමේ ආසන්නයට පැමිණ සිටී.

ඒ සඳහා සුදුසුකම් ලබාගත හැකි තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනකු වන්නේ හෙල්ල විසි කිරීම ක්‍රීඩක සුමේධ රණසිංහ හා මීටර් 3000 බාධක ක්‍රීඩිකා නිලානි රත්නායකය

කෙසේ වුවත් ශ්‍රී ලංකාවේ කිසිදු ක්‍රීඩකයකු පරිසාධන මට්ටමට ළඟා නොවන්නේ නම්  ශ්‍රී ලංකාවට සුදුසුකම් නොලත් ලේඛනයෙන් එක් ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවකට අවස්ථාව හිමිවේ.
දැන් පවතින තත්ත්වයට අනුව එම අවස්ථාව හිමි වන්නේ ද යුපුන් අබේකෝන්ටමය.

ජර්මනියේ දී ඔහු තත්පර 10.06කට දැක්වූ දක්ෂතාව සටහන් වන්නේ මෙතෙක් දකුණු ආසියාවේ මීටර 100 (පිරිමි) ඉසව්වේ ක්‍රීඩකයකුගේ හොඳම දක්ෂතාවය ලෙසිනි.
ඉතාලියේ වසර කීපයක සිට පුහුණුවීම්වල නිරත වෙමින් මේ වනවිට ඔහු ජාත්‍යන්තර තරග කීපයකදීම මීටර් 100 හා මීටර් 200 යන පිරිමි ඉසව්හි ශ්‍රී ලංකා වාර්තා අලුත් කිරීමට සමත්ව සිටියි.

මීටර් 200 (පිරිමි) ඉසව්වේ ඔහුගේ ආසන්නතම දක්ෂතාවය තත්පර 20.37ක් වූ අතර එය නව ශ්‍රී ලංකා වාර්තාවත් සමග දකුණු ආසියාවේ ක්‍රීඩකයකු වෙතින් මෙතෙක් ඉසව්වේ පළවූ හොඳම දක්ෂතාවය ලෙසත් සටහන් වේ. එම දක්ෂතාවය ඔහු දැක්වූයේ පසුගිය මැයි 22 වැනිදා ඉතාලියේ ග්‍රොසොවෝහිදීහ.

යුපුන් අබේකෝන් මීටර් 100 (පිරිමි) ඉසව්වෙන් ලෝක ශූරතා තරගාවලියට නිර්දේශ ලබා ගැනීමට සමත් වන්නේ නම් එම අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩකයකුට නැවත හිමිවන්නේ වසර 13කට පසුවය. ලෝක මලල ක්‍රීඩා තරගාවලියකදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු මීටර් 100 (පිරිමි) ඉසව්වට අවසන් වරට සුදුසුකම් ලබා ඇත්තේ 1999 සෙවිලා තරගාවලියේ දී ෂෙහාන් අඹේපිටිය විසිනි. එහිදී ඔහු තත්පර 10.53 ක කාලයක් වාර්තාකර තිබේ.

ඊට පෙර චින්තක ද සොයිසා පිට පිටම ලෝක ශූරතා තරගාවලි තුනක දී මීටර 100 (පිරිමි) ඉසව්ව නියෝජනය කර තිබීම කැපී පෙනේ.  1995-හැම්බර්ග් (තත්පර 10.60), 1997-ඇට්ලන්ටා (10.43) හා 1999 සෙවිලා (තත්පර 10.70) යන ලෝක ශූරතා තරගාවලි තුනක දී ඔහු මීටර 100 (පිරිමි) ඉසව්වට තරග වැදුණි.

කෙසේ වුවත් වසර පහක් පමණ තිස්සේ ඉතාලියේ වෙසෙමින් පුහුණුවීම් කරන සුපුන් ජුනි 27 වැනිදාට පෙර තවත් ජාත්‍යන්තර තරගාවලි කීපයකට සහභාගිවීමට සූදනමින් සිටියි. ඒ හේතුවෙන් මීළඟ ලෝක ශූරතාවලියට නිර්දේශ නාමාවලියෙන් මීටර 100 (පිරිමි) ඉසව්වට අවම සුදුසුකම් සපිරීමට ඔහුට තවත් අවස්ථාව තිබේ.

මේ වනවිට 27 හැවිරිදි වියේ පසුවන යුපුන්, දකූණු කොරියාවේ දී 2015 පැවැති ලෝක හමුදා ක්‍රීඩා උළෙලේ මීටර 4x100 (පිරිමි) ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකරගත් ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායමට ද ඇතුළත් විය. ඒ ශ්‍රී ලංකා යුද හමුදාවේ සේව කරන සමයේදීය. යුපුන් මීගමුව මාරිස්ටෙලා විදුහලේ ආදි සිසුවෙකි.

‘ටෝකියෝ’ ඔලිම්පික් උළෙලේදී (2020) මීටර 100 (පිරිමි) ඉසව්වේ ඔහුගේ දක්ෂතාවය තත්ත්පර 10.32කට සීමා විය.


වසර 2015 සිට සුපුන් අබේකෝන් මීටර 100 ඉසව්වේදී දස්කම් දක්වා ඇති ආකාරය
2015:- දියගම – තත්පර 10.83
2016:- ඉතාලිය – තත්පර 10.51
2017:- ඉතාලිය – තත්පර 10.57
2018:- කොළඹ – තත්පර 10.31
2019:- කොළඹ – තත්පර 10.44
2020:- ජර්මනිය – තත්පර 10.16
2021:- ඉතාලිය – තත්පර 10.15 නව ශ්‍රී ලංකා වාර්තාවක්
2022:- ජර්මනිය – තත්පර 10.06 නව ශ්‍රී ලංකා වාර්තාවක්

(මීටර 200)
2020:- ඉතාලිය – තත්පර 21.35 නව ශ්‍රී ලංකා වාර්තාවක්
2022:- ඉතාලිය – තත්පර 20.37 නව ශ්‍රී ලංකා වාර්තාවක්

 


අදහස් (0)

යුපුන් පරිසාධන මට්ටම අබියස

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.