Last Update  :  2024-03-28 14:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මලල ක්‍රීඩාව ව්‍යාපාරයක්

මලල ක්‍රීඩාව ව්‍යාපාරයක්

editorial - 2022 නොවැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මලල ක්‍රීඩාව අද මුදල් උපයන ව්‍යාපාරයක් ලෙස හැඳින්විය හැකි බවත් ඊට ආයෝජනයක් නොකර ප්‍රතිඵල බලාපොරොත්තු විය නොහැකි බවත් පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා මලල ක්‍රීඩා ලෝකඩ පදක්කම්ලාභි ශ්‍රී ලංකා  සුපිරි ​ කෙටි ධාවන ශූර යුපුන් ප්‍රියදර්ශන අබේකෝන් කොළඹ පැවැති මාධ්‍ය හමුවක දී පැවසීය.

ඉතාලියේ නේවාසික පුහුණුවීම් හදාරමින්  එරට  කල්  ගෙවන යුපුන් අබේකෝන් පසුගිය ඔක්තෝබර් 18 වැනිදා කෙටි නිවාඩුවක් සඳහා දිවයිනට පැමිණියේය.

ඒ ඔහුගේ ඉදිරි නේවාසික පුහුණුවීම් සැලසුම් පිළිබඳව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා හා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය සමඟ සාකච්ඡා කිරීම සඳහාය.

එංගලන්තයේ ‘බර්මින්හැම්’ නුවර දී නිමාවට පත් වූ 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ දී මීටර් 100 (පිරිමි) ඉසව්වෙන් තත්පර 10.06ක දක්ෂතාවක් දක්වමින් ලෝකඩ පදක්කමක් ඔහු දිනා ගත්තේ පසුගිය අගෝස්තු 2 වැනිදාය. ශ්‍රී ලාංකික මලල ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවක පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා පදක්කමක් දිනා ගත්තේ වසර 24කට පසුවය.

ඊට පෙර ඔහු ජාත්‍යන්තරව අවධානය දිනා ගැනීමට සමත් වූයේ පසුගිය ජුලි 3 වැනිදා ස්විස්ටර්ලන්තයේදී පැවැති ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියක දී තත්පර 9.96ක වාර්තාගත දක්ෂතාවක් දක්වමින් දකුණු ආසියාවේ වේගවත්ම මිනිසා බවට පත්වීමයි.

තත්පර 10ට අඩුවෙන් මීටර් 100 (පිරිමි) ඉසව්ව නිමා කළ පළමු දකුණු ආසියාතිකයා  බවට පත්වීමට යුපුන් අබේකෝන් එහි දී සමත් විය.

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලක දී මීටර් 100 ඉසව්වේ පළමු ශ්‍රී ලාංකික පදක්කම්ලාභියා බවට පත්වීමටත් යුපුන්ගේ පසුගිය ජාත්‍යන්තර දස්කම් ඉවහල් විය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ආරාධනාවෙන් කොළඹ දී පැවැති විශේෂ මාධ්‍ය හමුවට එක් වූ ඔහු මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න කිරීම් රැසකට පිළිතුරු දෙමින් මෙසේ ද පැවසීය.

‘‘කෙටි දුර ධාවකයන්ට හෙට දිනන පදක්කම් ගැන අනාවැකි කියන්න බෑ. මොකද කෙටි දුර ධාවන ඉසව් ඒ තරම්ම අවස්ථාවෙන් අවස්ථාවට තියුණු මුහුණුවරක් ගනු ලබන හින්දා.

ලංකාවේ මලල ක්‍රීඩාව දියුණු කරන්න නම් පහසුකම් පුළුල් කළ යුතුමයි. ඒ හැරෙන්නට මේ රටේ මලල ක්‍රීඩාවට ඉදිරි ගමනක් නෑ. මම ලංකාවට ඇවිත් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා එක්ක සාකච්ඡා කරන කොට මම කිව්වේ මට විතරක් උදව් කරලා හරියන්නේ නෑ.

මේ පුළුල් පහසුකම් රටේ අනෙක් සියලු දෙනාට නොලැබුණත් අඩු වශයෙන් ක්‍රීඩක ක්‍රිඩීකාවන් බහුතරයටවත් ලබාදිය යුතුයි කියලයි. මම අද ඉන්නේ එදා හිටපු තැනේ නෙමෙයි. අද මේ රටේ ක්‍රීඩා අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය මලල ක්‍රීඩාව උඩට ගේන්න යම් සාධනීය වෙහෙසක් ගනිමින් සිටිනවා.

මට පුහුණුවීම් සඳහා ඩොලර් ප්‍රතිපාදන කීපයක්ම ලැබී තිබෙනවා. නමුත් ඒවා තවමත් අතට අරගෙන නෑ. ඒවා කොහොම ද යොදවන්නේ කියලා මම පුහුණුකරුවන් හා බලධාරීන් සමග සාකච්ඡා කරනවා.

යුරෝපයේ දියුණුතම මලල ක්‍රීඩාවක් පවතින රටක මම අද පුහුණුවීම් හදාරන නමුත් දැන් ඒ රටවල්වල මලල ක්‍රීඩාවට යොදා ගන්න අති නවීන සුපිරි තාක්ෂණය පාවිච්චි කරන්න මට තවමත් අවස්ථාවක් ලැබිලා නෑ.

ඒ නිසා මම කියන්නේ අපේ රටේ මලල ක්‍රීඩාවෙන් ඉහළ ජාත්‍යන්තර පදක්කම් දිනන්න නම් මලල ක්‍රීඩාවට ප්‍රමාණවත් අලුත් ආයෝජනයක් කළ යුතුයි. ඒක දැන් ලෝකයේ මුදල්  උපයන ව්‍යාපෘතියක් වෙලා තියෙන්නේ. ව්‍යාපාරයක් දියුණු වන්නේ ඊට ආයෝජනයක් කළොත් විතරයි.

මගේ සේවය ඉදිරියට මෙරටට ලබාදීමට තීරණය  වන්නේ බලධාරීන් මලල ක්‍රීඩාවට දක්වන දායකත්වය මතයි. ඒත් වෙනත් රටක් වෙනුවෙන් මුදලට ක්‍රීඩකයෙක් වෙන්න මගේ දැනට අදහසක් නෑ.

ඉදිරි සිවු වසරක් සඳහා වන අවබෝධතා ගිවිසුමකට යුපුන් අබේකෝන් හා ක්‍රීඩා අමාත්‍යාංශය අතර අත්සන් තැබීමට නියමිතය. එහි කෙටුම්පතක් මේ වනවිට ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතාට බාරදීමට කටයුතු කර තිබේ.

වසර 2023දී පැවැත්වීමට නියමිත ආසියානු ශූරතා තරගාවලිය (තායිලන්තය) ලෝක මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය (බුඩාපෙස්ට්) ආසියානු ක්‍රීඩා උළෙල (චීනය) ජාත්‍යන්තර ‘ග්‍රෑන්ඩ් ෆික්ස්’ තරගමාලා (යුරෝපය) යුපුන් අබේකෝන් මීළඟ ආසන්නතම පදක්කම් අපේක්ෂාවන්ය.


අදහස් (0)

මලල ක්‍රීඩාව ව්‍යාපාරයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.