Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මලල ක්‍රීඩා ප්‍රධාන ලේකම් සමන් කුමාර

මලල ක්‍රීඩා ප්‍රධාන ලේකම් සමන් කුමාර

editorial - 2023 මැයි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ නිල දත්ත සටහන්කරු ලෙස වසර 31ක් අඛණ්ඩව කටයුතු කළ සමන් කුමාර ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ප්‍රධාන ලේකම් ධුරයට පත්කරනු ලැබ සිටී. රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ  (25) පැවැති විශේෂ මහ සභා රැස්වීමේදී සමන් කුමාර මහතා මෙම තනතුරට නිතරගයෙන් පත්විය.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ප්‍රධාන ලේකම් ධුරයේ කටයුතු කරමින් සිටි ප්‍රේම පින්නවල මහතා පසුගිය දෙසැම්බර් මාසයේදී පෞද්ගලික හේතු මත එම ධුරයෙන් ඉල්ලා අස්විය. එහි මෙතෙක් වැඩ බැලීම කළේ මලල ක්‍රීඩා ආයතනයේ උප ලේකම් ධුරය දැරූ පාලිත ජයතිලක මහතාය.  ප්‍රධාන ලේකම් ධූරයට පත්වූ සමන් කුමාර ගුණවර්ධන මහතා එහි මීළඟ නිලවරණය යෙදෙන 2025 මැයි මාසය දක්වා කටයුතු කරනු ඇත.

සමන් කුමාර මහතා 1992 දී, ශ්‍රී ලංකා ආධුනික මලල ක්‍රීඩා සංගමයට එක්වූයේ කමිටු සාමජිකයකු ලෙසිනි.  1994 දී එහි නිල දත්ත සටහන්කරු ලෙස පත්වීම් ලද ඔහු ඊයේ දක්වා අඛණ්ඩව එහි කටයුතු කරමින් ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවට  සුවිසල් මෙහෙවරක් කළේය. සමන් කුමාර මහතාගෙන් පසුව මලල ක්‍රීඩා දත්ත සටහන්කරු ධුරය සඳහා ඉදිරියේදී නිලධාරියකු පත්කරනු ඇත.

කැලණිය විශ්වවිද්‍යාලයේ ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා අධ්‍යක්ෂ ධුරයේ වැඩ බලන නිලධාරියා වශයෙන් කටයුතු කරන සමන් කුමාර මහතා මලල ක්‍රීඩා ආයතනයේ ප්‍රධාන ලේකම් ධුරයට පත්වන්නේ වඩාත් කාර්ය බහුල වකවානුවකදීය. මෙම වසරේදී පැවැත්වෙන ආසියානු වයස 20න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලිය (කොරියාවේදී), ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය (තායිලන්තයේදී), පොදු රාජ්‍ය මණ්ඩලීය යොවුන් ක්‍රීඩා උළෙල (ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝහිදී), ලෝක මලල ක්‍රීඩා ශූරතා ශූරතාවලිය (හංගේරියාවේදී), ආසියානු ක්‍රීඩා උළෙල (චීනයේදී) ඇතුළු අන්තර්ජාතික තරගමාලා ගණනාවකටම ශ්‍රී ලංකා කණ්ඩායම් සූදානම් කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයට සිදුව තිබේ.

මලල ක්‍රීඩා ආයතනයේ සභාපතිවරයා හෝ ප්‍රධාන ලේකම් ධුර හදිසියේම හිස් වන්නේ නම් ඒ සඳහා විශේෂ මහ සභා රැස්වීමකදී සුදුසු අයකු පත්කරගැනීමට පුළුවන. එහෙත් විධායක සභාවේ සෙසු පත්වීම් පිරවීමට කවුන්සිල් රැස්වීමක් කැඳවීම ප්‍රමාණවත් වේ.


අදහස් (0)

මලල ක්‍රීඩා ප්‍රධාන ලේකම් සමන් කුමාර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.