Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics තරුෂිගෙන් වාර්තාවක්

තරුෂිගෙන් වාර්තාවක්

editorial - 2023 ජුනි මස 07 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(නාමල් පතිරගේ)

රටවල් 45ක සහභාගිත්වයෙන් දකුණු කොරියාවේදී පැවැත්වෙන ආසියානු වයස 20න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේ එකම ත්‍රිත්ව පදක්කම්ලාභිනිය බවට පත්වීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩිකා තරුෂි දිල්සරා කරුණාරත්න ඊයේ (6) වන විට හිමි කරගෙන තිබුණි.

කෙසේ වුවත්, තරගාවලිය අද (7) යෙචියොන් නුවරදී නිමාවට පත්වන අතර, තවත් තරග ඉසව් 13ක් පවත්වා අවසන් කිරීමට නියමිතව තිබුණි.

වලල ඒ. රත්නායක මහ විදුහලේ සිසුවියක් වන 19 හැවිරිදි තරුෂි, යෙචියොන් තරගාවලියේදී මීටර 400 (කාන්තා) ඉසව්වෙන් රිදී පදක්කමක් ද, මීටර 800 (කාන්තා) ඉසව්වෙන් රන් පදක්කමක් ද, මීටර 4x400 (මිශ්‍ර) සහාය දිවීමේ ඉසව්වේ රන් පදක්කම ද දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩිකාවක් ලෙස ඇතුළත් වෙමින් පදක්කම් තුනක් දිනා ගැනීමට සමත් වූවාය.  ඊයේ දිනය නිමාවේදී එම දස්කම කළ තරගාවලියේ එකම ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව බවට පත්ව සිටියේ ඇයයි.

ඊයේ දිනය නිමා වන විට පදක්කම් දිනාගත් රටවල් 14ක් අතරින් ශ්‍රී ලංකාව රන් පදක්කම් හා ලෝකඩ පදක්කම් දෙකක් බැගින් හා එක් රිදී පදක්කමක් දිනා, පදක්කම් සටහනේ හය වැනි ස්ථානය අත්කරගෙන තිබුණි.  ජපානය එහිදී රන් පදක්කම් 10ක් දිනා පදක්කම් සටහනේ පෙරමුණ ගෙන සිටියේය. ඊයේ පැවැති මීටර 200 (කාන්තා) ඉසව්වේ මූලික වටයේ තරග වැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩිකා දිනාරා රෂ්මි බණ්ඩාර දෑල තත්පර 24.93 කට තරගය පස්වැනි ස්ථානයට නිමා කිරීම එහි අවසන් තරගයට නිර්දේශ ලැබීමට ප්‍රමාණවත් නොවීය. මෙහි වාර්තාවට (තත්පර 23.16) තවමත් හිමිකම් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩිකා සුසන්තිකා ජයසිංහ විසිනි.  එහෙත්, එහි සිව්වැනි ස්ථානය දක්වා පැමිණි ක්‍රීඩිකාවන් අද පැවැත්වෙන අවසන් තරගයට නිර්දේශ ලැබීමට සමත් වූවාය.

ඊයේ උස පැනීම (කාන්තා) ඉසව්වේ තරග වැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩිකා රනින්දි සෙහෙන්සා ගමගේට අත්වූයේ 12 වැනි (අවසන්) ස්ථානයයි. ඒ, මීටර 1.60 කටය. මෙහි රන් පදක්කම දිනාගත් උස්බෙකිස්තානු ක්‍රීඩිකා සායිනුල්ලේබා මීටර 1.84ක දක්‍ෂතාවක් පළ කළාය.

අද දිනයේදී ශ්‍රී ලංකා ක්‍රීඩක යසිරු දිල්රංග මීටර 1,500 (පිරිමි) ඉසව්වට සහභාගි වීමෙන් පසුව මෙම තරගාවලියට ශ්‍රී ලංකාවේ සහභාගිත්වය අවසන් වේ.

අවසන් වරට ජපානයේ ‘ගිෆු’ නුවරදී නිමාවට පත්වූ 19 වැනි ආසියානු වයස 20න් පහළ මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් තුනක් (3), රිදී පදක්කම් හතරක් (4) හා ලෝකඩ පදක්කම් දෙකක් (2) දිනා එහි පස්වැනි ස්ථානය ලබා තිබේ.


අදහස් (1)

තරුෂිගෙන් වාර්තාවක්
  • ජුනයිඩ් නානා Wednesday, 07 June 2023 12:27 PM

    ආයෙමත් මේ දරුවාට තගක් දාලා වලල පැත්තේ පිට්ටනියක එළියේ අඬ අඬා ඉන්න සලස්වන්න. ඔලිම්පික් පදක්කම් කීපයකුත් ගෙනේවි. පිට්ටනිවල මුරකාරයින් විදියට බූරුවන් යෙදවීම දැන්වත් නවත්තන්න. මීට පස්සෙවත් මේ දරුවට සාධාරණයක් කරන්න බලන්න...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.