Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ජාතික ක්‍රීඩා සභාව තේරීම් අතට ගනී

ජාතික ක්‍රීඩා සභාව තේරීම් අතට ගනී

editorial - 2023 මැයි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

දකුණු කොරියාවේ දී ඉරිදා (4) ආරම්භ වන 20 වැනි ආසියානු වයස 20 න් පහළ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය (තේරීම් කමිටුව) නිර්දේශ කළ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ නිලධාරීන් නිසි දැනුවත් කිරීමකින් තොරව වෙනස් කළ බවට ජාතික ක්‍රීඩා සභාවට චෝදනා එල්ල වේ.

පහුගිය මැයි 15 වැනිදා ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ අනුමැතියට යොමු කළ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එම අනුමැතිය නිල වශයෙන් ලැබී ඇත්තේ ද ඔවුන් දිවයිනෙන් පිටත්ව ගිය පෙරේදා (29) දහවල් කාලයේ දීය.

ජාතික ක්‍රීඩා සභාවේ වත්මන් සභාපතිවරයා වන්නේ අර්ජුන රණතුංග මහතාය. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල පුහුණුකරු ලෙස නිර්දේශ කර සිටි සුසන්ත ප්‍රනාන්දු මහතා එහිදී එයින් ඉවත්කර කළමනාකරු ධුරයට පත්කර ඇති ක්‍රීඩා සභාව නිල ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් නොවූ ජානක වසන්ත කුමාර මහතා එහිදී පුහුණුකරු ලෙසත් ඉමල්කා රණවීර මහත්මිය ක්‍රීඩිකාවන් භාර නිලධාරිනිය ලෙසත් පත්කර ඇත.

 කෙසේ වුවත් නිල වශයෙන් කණ්ඩායමේ කළමනාකරු ලෙස පත්කර සිටි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ උප සභාපතිවරයෙකු වන කේ.ඒ. ප්‍රසන්න ඉන්දික මහතා මෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශය නිර්දේශ කළ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් භාර නිලධාරිනී සුනේත්‍රා කරුණාරත්න මහත්මිය මෙම සිදුවීමේ දී තරග සංචාරයෙන් ඉවත්කර දැමීමට ද ජාතික ක්‍රීඩා සභාව කටයුතු කර තිබේ.

 කණ්ඩායමෙන් තමන් ඉවත් කර ඇති බවට ඔවුන් දැනගෙන ඇත්තේ තරග සංචාරයට පිටත්වීම සඳහා සූදානම්ව පෙරේදා මලල ක්‍රීඩා ආයතනයට පැමිණ සිටියදීය. ඒ දක්වා තරග සංචාරය සඳහා ඇමැති අනුමැතිය සඳහන් ලිපිය ලැබී නොතිබීම මෙම තත්වයට හේතු වී තිබේ.

 පෞද්ගලිකව ගුවන් ප්‍රවේශ පත්‍ර ඇතුළුව එතෙක් සියළු වියදම් දරමින් තරග සංචාරයට සූදානම් වූ ඔවුන් එම වියදම් නැවත අයකර දෙන ලෙස මේ වන විට මලල ක්‍රීඩා ආයතනයෙන් ඉල්ලා ඇතැයි ද වාර්තා වේ.

 ක්‍රීඩිකාවන් භාර නිලධාරිනියට ක්‍රීඩා සභාවේ පත්වීම් ලද ඉමල්කා රණවීර මහත්මිය අතින් වියදම් දරා ගැනීමේ කොන්දේසි මත මෙම තරග සංචාරයට මුලින් සූදානම්ව සිට ඇත්තේ පුහුණුකාරිනියක් ලෙසිනි. ඇය උස පැනීමේ ක්‍රීඩිකා රනින්දි ශෙහංසාගේ පෞද්ගලික පුහුණුකාරිනියයි.

 කණ්ඩායම් කළමනාකරු ලෙස ක්‍රීඩා සභාව නම් කළ ජානක වසන්ත කුමාර ද අතින් වියදම් දරමින් තරග සංචාරයට සූදානම් වූ මීටර 400 කඩුලු ක්‍රීඩක විනෝද් ආරියවංශගේ පෞද්ගලික පුහුණුකරුවායි.

 ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය අවධාරණය කර ඇත්තේ මෙම සිදුවීම් හේතුවෙන් තමන් දැඩි අපහසුතාවයට පත්වූ බවයි. මෙම තරග සංචාරයට ගුවන් ප්‍රවේශපත්‍ර වියදම් දරා දෙන බවට වූ පොරොන්දුව මත ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිල පත්වීම් ලද නිලධාරීන් පෞද්ගලිකව වියදම් සොයා ගනිමින් මෙම තරග සංචාරයට පිටත්ව ගිය බව ද වාර්තා වේ.


අදහස් (0)

ජාතික ක්‍රීඩා සභාව තේරීම් අතට ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.