Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ජාතික ඔලිම්පික් කමිටුව මාධ්‍යවේදීන් හෑල්ලු කරයි

ජාතික ඔලිම්පික් කමිටුව මාධ්‍යවේදීන් හෑල්ලු කරයි

editorial - 2022 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විදෙස් රටවලදී පැවැත්වෙන ක්‍රීඩා තරගාවලි ආවරණය කිරීමට යන මාධ්‍යවේදීන්ට වීසා ලබාගැනීම සඳහා ආධාරක ලිපි නිකුත් කිරීමේදී රුපියල් මිලියන දෙක බැගින් වූ ශරීර ඇප 2 ක් ඉල්ලා සිටීමෙන් වෘත්තිය මාධ්‍යවේදීන් හෑල්ලුවට ලක්කිරීමට ජාතික ඔලිම්පික් කමිටුව කටයුතු කර තිබේ. 

දකුණු කොරියාවේදී පැවැත්වීමට නියමිත දකුණු ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියර ආවරණ කිරීම සඳහා සූදානමින් සිටින මාධ්‍යවේදීයකු, තමාට කොරියානු වීසා ලබාගැනීමට සඳහා අවශ්‍ය ආධාරක ලිපියක් නිකුත් කරන ලෙස ලිඛිතව කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඔලිම්පික් කමිටුවේ ලේකම්වරයා මේ බව සඳහන් කර ඇත. 

මෙලෙස ඇප ඉල්ලා සිටීමට හේතුව ලෙස ලේකම්වරයා සඳහන් කරන්නේ පසුගිය කාල වකවානුව තුළ විදෙස් තරගාවලි සඳහා සහභාගිවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම ඇතැම් නිලධාරීන්ද නැවත ශ්‍රී ලංකාවට නොපැමිණ, එම රටවලදී අතුරුදහන් වීමය. එලෙස අතුරුදහන් වී ඇති පිරිසෙන් බහුතරය ක්‍රීඩකයන් සහ නිලධාරීන් වන අතර ඔවුන් සියලු දෙනා අදාල තරගාවලීන්ට සහභාගි වී ඇත්තේ ජාතික ඔලිම්පික් කමිටුවේ සම්බන්ධීකරණය යටතේය. 

එංගලන්තයේදී පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල අතරතුර අතුරුදහන් වූ 12 දෙනා සහ ස්පාඤ්ඤයේදී පැවැති, වයස 23 න් පහළ මල්ලවපොර ලෝක ශූරතාවලියේදී අතුරුදහන් වූ 3 දෙනාද ඊට ඇතුළත් වූහ. 

ආසියානු රග්බි තරගාවලිය ආවරණය කිරීමට සැරසෙන මාධ්‍යවේදීන්ගෙන් මිලියන දෙකක ශරීර ඇප 2 ක් ඉල්ලා සිටියද, ඊට සහභාගිවන ක්‍රීඩකයන් සහ නිලධාරීන් වෙනුවෙන් ඔලිම්පික් කමිටුව කිසිදු ඇපයක් ඉල්ලා නොමැතිව බව වැඩිදුරටත් වාර්තා වේ. 

ආසියානු රග්බි සංගමය විසින් මේ වන විට ශ්‍රී ලංකා රග්බි සංගමයට පනවනු ලැබ ඇති ජාත්‍යන්තර තහනම හේතුවෙන් උක්ත තරගාවලිය සඳහා ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමට සහභාගි වීමට සිදුව ඇත්තේ ජාතික ඔලිම්පික් කමිටු ධජය යටතේය. 

මේ සම්බන්ධයෙන් පරස්පර මතයක් දරන, ක්‍රීඩා අමාත්‍යවරයාගේත් උපදේශක මට්ටමේ සිටින, උසස්ම නිලධාරියකු කියා සිටියේ ජාතික ධජය යටතේ තරග නොවදින නිසා මෙම කණ්ඩායම ජාතික කණ්ඩායමක් ලෙස සැලකිය නොහැකි බවය. එබැවින් මෙම කණ්ඩායමට අමාත්‍යංශ අනුමැතියක් සහ අනුග්‍රහක් ලබාදීම ගැටළු සහගතත බවද එම නිලධාරියා පැවසීය. 

ජාතික ඔලිම්පික් කමිටු ධජය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමක් තරග බිමට පිවිසෙන්නේ නම් කණ්ඩායමේ සම්බන්ධයෙන් පූර්ණ වගකීම ඔලිම්පික් කමිටුව සතුවන බවත්, එවැනි අවස්ථාවලදී තරග සංචාරයට අදාලව ක්‍රීඩකයන්ගේ සියලු අවශ්‍යතා ඔලිම්පික් කමිටුව හරහා ඉටුකරගත යුතු බවත්, එම අමාත්‍යංශ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය. 

-036 


අදහස් (0)

ජාතික ඔලිම්පික් කමිටුව මාධ්‍යවේදීන් හෑල්ලු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.