Last Update  :  2025-09-10 13:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics චන්ද්‍රිකා සුභාෂිණි හෙට මීටර 400 ඉසව්වේ

චන්ද්‍රිකා සුභාෂිණි හෙට මීටර 400 ඉසව්වේ

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු කොරියාවේ ‘ඉංචියොන්’ නුවරදී පැවැත්වෙන XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ නවවැනි දිනය වන හෙට (27) බොහෝ දෙනකුගේ අවධානය දිනා ගන්නා මලල ක‍්‍රීඩා තරග ඉංචියොන්හි ප‍්‍රධාන ක‍්‍රීඩාංගණයේදී ආරම්භ වේ.

ශ‍්‍රී ලංකා මීටර 400 ශූරී චන්ද්‍රිකා සුභාෂිණි රස්නායක හෙට (27) පස්වරු 8.25 හෙවත් ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5.05 ට කාන්තා මීටර 400 ඉසව්වේ පළමු මූලික තරගයට සහභාගි වීමට සූදානමින් සිටින්නීය.

පළමු මූලික වටයට සහභාගි වන ක‍්‍රීඩිකාවන් අතරින් කාලය අනුව චන්ද්‍රිකා දෙවැනි ස්ථානයේ පසු වන්නීය. චන්ද්‍රිකා මෙම ඉසව්වේ වාර්තා කර ඇති හොදම කාලය තත්පර 52.36 ක් වන අතර මෑතකාලීන හොදම කාලය තත්පර 52.67 කි.  

චන්ද්‍රිකාට ඉදිරියෙන් සිටින චීන ක‍්‍රීඩිකා ජින් වෙන් චෙන් හොදම නිමි කාලය තත්පර 52.18 ක් වන අතර නමුත් ඇයගේ මෑතකාලීන හොදම දක්‍ෂතාව ලෙස තත්පර 54.12 ක් සටහන් කර තිබේ.

ශ‍්‍රී ලංකා හිටපු කෙටි දුර ධාවන ශූරී දමයන්ති දර්ශා 2002 බූසාන් ආසියානු ක‍්‍රීඩා උළෙලේදී තත්පර 51.13 ක කාලයකින් රන් පදක්කම දිනා මීටර 400 කාන්තා ඉසව්වේ වාර්තාවට හිමිකම් කියන්නීය.     

මෙම ක‍්‍රීඩා උළෙලට සහභාගි වූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 80 අතරින් මලල ක‍්‍රීඩා තරගාවලියට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 11 දෙනකු සහභාගි වෙති.

චන්ද්‍රිකාට අමතරව හෙල්ල විසිකිරීමේ ශූරිය නදීකා ලක්මාලි, මැරතන් ක‍්‍රීඩක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ සහ 4X400 සහය දිවීමේ කණ්ඩායම මෙහිදී දස්කම් අතරට පැමිණෙනු ඇති බවට දැඩි විශ්වාසය තබා තිබේ.

රුසියාවේ මොස්කව් නුවරදී පසුගිය වසරේ (2013) ජූලි මස පැවැති 14 වැනි ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ කාන්තා ඉසව්වේ හොඳම ක‍්‍රීඩිකාවන් 12 අතරට තේරුණු නදීකා මෙම ක‍්‍රීඩා උළෙලේදී දස්කම් අතරට පැමිණීමේ සූදානමින් පසු වන්නීය.

ඉංචියොන් නුවරදී ‘ලංකාදීප’යට අදහස් දක්වමින් නදීකා ලක්මාලි පැවසුවේ තමන් පුහුණුවීම් හොදින් කර මේ වන විට ඉහළ මානසික තත්ත්වයක සිටින බවයි.

”මට ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් අවශ්‍ය පහසුකම් ලැබුණා, ඒ නිසා පුහුණුවීම් අඛණ්ඩව කළා, මම ජයග‍්‍රහණයක් බලාපොරොත්තුවෙන් ඉන්නවා” යැයි නදීකා වැඩි දුරටත් පැවසුවාය.

නදීකා සහභාගි වන හෙල්ල විසිකිරීම මූලික තරගය ඔක්තෝම්බර් මස 1 වැනිදා රාත‍්‍රී 8.10 ට හෙවත් ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.40 ට ආරම්භ වේ.

එංගලන්තයේ පදිංචිව සිටින ශ්‍රී ලංකා මැරතන් ක‍්‍රීඩක අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ 2004 ඇතන්ස් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල 30 වැනි ස්ථානයට අවසන් කළ ක‍්‍රීඩකයකි.

ඔහු 2012 වසරේ ලන්ඩන් මැරතන් තරගයේදී දස්කම් දක්වමින් ලන්ඩන් මැරතන් තරගය අවසන් කළ පළමු ශ්‍රී ලාංකිකයා වෙමින්  ඕලිම්පික් ක‍්‍රීඩා උළෙලට ‘බී’ ශ්‍රේණියෙන් පරිසාදන කාලය සම්පූර්ණ කළේය.

කෙසේ වෙතත් අනුරාධ මෙම ක‍්‍රීඩා උළෙලේ සහභාගිත්වයේ සිට ගැටලූ මතු වූ අතර ඔහුට එංගලන්තයේ සිට කොරියාවට පැමිණීමට අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීමක් ද කර තිබුණි.

අනුරාධ කෙන්යාවේ සති හයක විශේෂ පුහුණුවකින් පසුව මෙම ක‍්‍රීඩා උළෙලට සහභාගි වී සිටින අතර ඔහු පැවසුවේ ඔහුගේ හොදම කාලය මෙම ක‍්‍රීඩා උළෙලේදී වාර්තා කිරීමට හැකි වුවහොත් පදක්කමක් ලැබෙන බවයි.

”මට ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා බලධාරීන්ගෙන් ලොකු සහයෝගයක් නෑ. මට මලල ක‍්‍රීඩා සංගමයෙන් කෙන්යාවේ පුහුණුවක් ලබා දුන්නේ නෑ. මම එංගලන්තයේ පුහුණුවීම් කරන්නේ මා සේවය කරන ස්ථානයට සේවයට එන ගමන් දුවලයි. සේවය කරන ස්ථානයෙන් තමයි මට කෙන්යාවේ පුහුණුවට අවස්ථාව දුන්නේ. ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් සහ මලල ක‍්‍රීඩා සංගමයේ සහයෝගය ලැබෙනවා නම් මට මීට වඩා දෙයක් කරන්න පුඵවන්”

”මේක මගේ අවසන් ආසියානු ක‍්‍රීඩා උළෙල, තව අවුරුද්දක් දෙකක් දුවන්න පුඵවන්. මැරතන් එකක් තීරණය වෙන්නේ දවසේ කාලගුණය අනුවයි. මම හිතනවා මට පදක්කමක් දිනන්න පුඵවන් කියලා” යැයි අනුරාධ වැඩි දුරටත් පැවසීය.

මැරතන් තරගය ඔක්තෝම්බර් මස 3 වැනිදා පෙරවරු 9.00 ට හෙවත් ශ‍්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 5.30 ට ආරම්භ වේ.  

උස පැනීමේ ක‍්‍රීඩක මංජුල කුමාර ද මෙහිදී අමතරක කර නොහැකි ක‍්‍රීඩකයෙකි. කෙසේ වෙතත් ඔහු පසුගිය කාලයේ එතරම් දස්කම් අතරට පැමිණීමට අසමත් විය. මංජුල‍ෙ 29 වැනිදා පස්වරු 6.30 ට හෙවත් ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.00 ට තරගයට සහභාගි වීමට නියමිතය.

කසුන් කල්හාර සෙනවිරත්න, අංජන මධුෂාන් ගුණරත්න, කාලිංග කුමාරගේ, ධනුෂ්ක නලීන් කරුණාරත්න සහ උදාර විරාජ් වීරසිංහ යන ක‍්‍රීඩකයන්ගෙන් සමන්විත මීටර 400X4 සහය දිවීමේ කණ්ඩායම ද හොද සූදානමකින් පසු වෙයි.

මීටර 400X4 සහය දිවීමේ කණ්ඩායම අනිද්දා 29 වැනිදා රාත‍්‍රී 9.25 ට හෙවත් ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6.00 ට මූලික තරගයට සහභාගි වීමට නියමිතය.  

ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා කණ්ඩායමේ සියයුම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ මේ වන විට ඉංදියොන් ප‍්‍රධාන ක‍්‍රීඩාංගණයේ පුහුණු සැසිවලට සහභාගි වෙමින් සිටිති.

ක‍්‍රීඩා උළෙලේ ශ‍්‍රී ලංකා කණ්ඩායම් ප‍්‍රධානී ෂෙමාල් ප‍්‍රනාන්දු මහතාගෙන් මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් පිළිබද කළ විමසුමකදී පැවසුවේ සියලූම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඉතාමත් හොද තත්ත්වයෙන් සිටින බවයි.

ශ‍්‍රී ලංකා මීටර 800 ක‍්‍රීඩක ජී. ටී. ඒ. අබේරත්න මේ මස 30 වැනිදා රාත‍්‍රී 8.40 ට හෙවත් ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.50 ට එම ඉසව්වේ මූලික තරගයට සහභාගි වෙයි.

දුර පැනීමේ ක‍්‍රීඩක ජනක ප‍්‍රසාද් විමලසිරි අනිද්දා (28) පෙරවරු 10.00 ට හෙවත් ශ‍්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 6.30 ට මූලික තරගයට සහභාගි වීමට නියමිතය.


අදහස් (0)

චන්ද්‍රිකා සුභාෂිණි හෙට මීටර 400 ඉසව්වේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.