Last Update  :  2024-05-04 10:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics කෝටි 6 කින් ක්‍රීඩා උළෙල පවත්වා අවසන් කිරීමට සැරසෙයි

කෝටි 6 කින් ක්‍රීඩා උළෙල පවත්වා අවසන් කිරීමට සැරසෙයි

editorial - 2023 පෙබ මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

වසර 2022ට නියමිතව තිබූ 47 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල ලබන මාර්තු  9 වැනිදා පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දය අවසන්වීමත් සමග පැවැත්වීමට සැලසුම් කර ඇතැයි ක්‍රීඩා ජනරාල් නීතිඥ අමල් එදිරිසූරිය මහතා පවසයි.

ඉකුත්දා පැවැති පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂවරුන්ගේ රැස්වීමේ දී තීරණය කර ගත් පරිදි වසර 2022ට නියමිත 47 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ අවසන් අදියර මෙලෙස පැවැත්වේ.

එහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, දිස්ත්‍රික්  හා පළාත් යන ක්‍රීඩා උළෙලේ අදියර තුනක තරග මේ වනවිට පවත්වා අවසන් කර තිබෙන අතර ක්‍රීඩා අමාත්‍යාංශයේ ඍජු මැදිහත්වීමෙන් සංවිධානය කෙරෙන අන්තර් පළාත්  තරගාවලිය මෙලෙස 2022 ජාතික මහ ක්‍රීඩා උළෙලේ අවසන් අදියරට පැවැත් වේ.

වියදම අවම කර ගැනීම සඳහා මෙම ක්‍රීඩා උළෙල උත්සව විශේෂාංග සීමා කරමින් පැවැත්වේ. ක්‍රීඩා ඉසව් ක්‍රීඩා අමාත්‍යාංශයට අයත් පොළොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණය, මාතර ක්‍රීඩා සංකීර්ණය හා කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණය යන ක්‍රීඩාංගණවල දී පමණක් පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ ද වියදම් අවම කර ගැනීම සඳහාය.

කෙසේ වුවත්  ත්‍රිවිධ හමුදාව හා ජාතික තරුණ සේවා සභාවට අයත් නර්තන හා සංස්කෘතික කණ්ඩායම් පමණක් සමාරම්භක හා සමාප්ත උත්සව සඳහා සහභාගි කර ගැනීමට තීරණය කර ඇත්තේත් ඉහත ආකාරයට වියදම් පාලනය කර ගැනීම සඳහාය.

47 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල සඳහා වියදම් පාලනය කිරීමේ පියවරක් ලෙස මෙවර එය රුපියල් මිලියන 60ත් 65ත් අතර සීමාවේ රඳවා ගනිමින් පැවැත්වීමට තීරණය කර ඇත.

වෙනත් වසරවල දී ජාතික මහ ක්‍රීඩා උළෙල සංවිධානය කිරීමේ දී ක්‍රීඩා අමාත්‍යාංශය රුපියල් මිලියන 220ක් තරම් බරපැනක් දරා තිබේ. කෙසේ වුවත් වෙනත් වසරවල දී මෙන් මෙම ක්‍රීඩා උළෙලේත් ඉසව් ජයග්‍රාහකයන් සඳහා පදක්කම්, සහතිකපත් ලබාදෙන අතර ඒ සඳහා ලබාදෙන ත්‍යාග මුදල් පිළිබඳව මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැත.

කෙසේ වුවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා  නවාතැන් පහසුකම් සලසාදීම ද ක්‍රීඩා අමාත්‍යාංශයේ ඍජු මැදිහත්වීමෙන් සිදු කෙරේ. ඔවුන්ට ආහාරපාන ලබාදීමේ කටයුත්ත පළාත් ක්‍රීඩා  අධ්‍යක්ෂවරුන්ට පවරා තිබේ.

වසර 2019ට නියමිතව තිබූ 45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල බදුල්ලේ දී පවත්වා අවසන් කිරීමෙන් පසුව රටේ උද්ගත වුණු කොවිඩ් වසංගතය හා  හදිසි තත්ත්වයක් යටතේ 2020-21 යන වසර දෙකක්ම ක්‍රීඩා උළෙල නොපැවැත්විණි. 1972දී මෙම ක්‍රීඩා උළෙල ආරම්භවීමෙන් පසුව 1983 හා 1987 යන වසරවලදීත් එය පවත්වා නැත.


අදහස් (0)

කෝටි 6 කින් ක්‍රීඩා උළෙල පවත්වා අවසන් කිරීමට සැරසෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.