Last Update  :  2024-04-28 13:33:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ආසියානු ශූරිය පාසල් පිටියට

ආසියානු ශූරිය පාසල් පිටියට

editorial - 2023 ඔක් මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

චීනයේ හංජෝ නුවරදී පැවති 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ දී මීටර 800 (කාන්තා) ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ඉහළම ජාත්‍යන්තර අවධානයක් දිනාගත් තරුෂි දිල්සරා කරුණාරත්න හෙට (23) කොළඹ සුගතදාස පිටියේ දී ආරම්භ වන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ දී ඉසව් හතරකට තරග වැදීමට සූදානම්ව සිටියි.

සිසු සිසුවියන් 6000කගේ සහභාගිත්වයෙන් සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලිය හෙට සිට ලබන සිකුරාදා (27) දක්වා සුගතදාස පිටියේ දී පැවැත්වේ. වයස 14 න් පහළ, 16 න් පහළ, 18 න් පහළ හා 20 න් පහළ බාලක හා බාලිකා මලල ක්‍රීඩා ඉසව් එහිදී පැවැත්වේ.

මෙම වසරේදී පැවති ආසියානු ක්‍රීඩා උළෙල ආසියානු මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය ඇතුළුව ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලි හතරක දී රන් පදක්කම් තුනක් ඇතුළුව  පදක්කම් 8 ක් දිනාසිටින 19 හැවිදිරි තරුෂි දිල්සරා වලල ඒ. රත්නායක මැදි විදුහලේ උසස් පෙළ හදාරන සිසුවියකි. ඇගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ ඇය තරග වදින අවසන් පාසල් තරගාවලිය මෙය වන බවත් එහිදී මීටර 400, මීටර 800, මීටර 100x4 හා මීටර 400x4 යන බාලිකා ඉසව් හතරකට තරග වැදීමට ඇය සූදානමින් සිටින බවයි.

හෙට තරගාවලිය ආරම්භ කරමින් ගිනිසිළුව දැල්වීම සඳහා ආරාධනා ලබා සිටින ක්‍රීඩිකාව වන්නේද ඇයයි. ඒ අතර හෙට පෙරවරු 9.00 ට පැවැත්වෙන සමාරම්භක උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තියක් ලෙසත් ඇය ඇරයුම් ලබා සිටින්නී ය.

දමයන්ති දර්ශාගෙන් පසුව ඉහළම ජාත්‍යන්තර පදක්කම් දිනු පාසල් සිසුවියක් සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලකට සහභාගිවන්නේ වසර 25 කට පමණ පසුවය. ඇයගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතා පවසන්නේ ආසියානු ක්‍රීඩා උළෙලක දී රන් පදක්කමක් දිනාගත් ක්‍රීඩිකාවක් පාසල් ක්‍රීඩා තරගාවලියකට සහභාගිවන පළමු අවස්ථාව ලෙස මෙය ඉතිහාසගත වන බවයි.

හෙට දහවල් 12.45 ට තරුෂි දිල්සරා මෙවර පාසල් මලල ක්‍රීඩා උළෙලේ පළමු තරග වැදීමට සහභාගිවෙමින් මීටර 400 (බාලිකා) වයස 20 න් පහල ඉසව්වේ මූලික වටයට සහභාගිවීමට නියමිතය. අද පස්වරු 5.50 ට එහි අවසන් පූර්ව වටයත් හෙට (24) එහි අවසන් මහා තරගයත් පැවැත්වේ.

පාසල් සිසුවියක ලෙස තවමත් කල් ගෙවන තමන් සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියට දක්වන ගෞරවයක් ලෙස ඊට සහභාගිවන අවසන් අවස්ථාව මෙය වන ඇය පැවසුවාය.

මෙම වසරේදී අන්තරජාතික තරගාවලි ගණනාවකට සහභාගිවෙමින් ඉතා කාර්ය බහුල තරග දිවියක් ගත කළත් ඇය මෙම වසරේදී පැවති වත්තේගෙදර කලාප මලල ක්‍රීඩා තරගාවලිය ඇතුළුව සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලි රැසකට සහභාගිවෙමින්  මෙම සියලු තරගවල දී ඉදිරිපත්වූ ඉසව් ජයගැනීමට සමත්ව තිබේ.

ඇගේ මීළඟ ප්‍රධානම ජාත්‍යන්තර තරග උත්සාහය 2024 පැරිස් ඔලිම්පික් උළෙලේ දී මීටර 800 (කාන්තා) ඉසව්ව සඳහා සුදුසුකම් ලබාගැනීමයි.


අදහස් (0)

ආසියානු ශූරිය පාසල් පිටියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.