Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics 2022 ජාතික මහ ක්‍රීඩා උළෙලට භාණ්ඩාගාරයෙන් කෝටි 10 ක්

2022 ජාතික මහ ක්‍රීඩා උළෙලට භාණ්ඩාගාරයෙන් කෝටි 10 ක්

editorial - 2023 මාර් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

වසර 2022 ට නියමිත 47 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල ඉදිරියේදී පැවැත්වීම සඳහා රුපියල් කෝටි 10 ක් (මිලියන 100 ක්) ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට ලබාදීමට මහා භාණ්ඩාගාරය එකඟවී තිබේ. මෙම වසරේ සිට ජාතික ක්‍රීඩා උළෙල හැඳින්වෙන නාමය වෙනස් කරමින් එය ‘XLVII වැනි ජාතික ක්‍රීඩා’ යනුවෙන් නම් කර තිබේ.

ඒ අනුව ලබන අප්‍රේල් සහ මැයි මාස දෙක අතර කාල සීමාවේදී මෙම ක්‍රීඩා උළෙල පවත්වා අවසන් කිරීමට සැලසුම් කර ඇතැයි ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ලංකාදීපට පැවසීය.

කෙසේ වුවත් උත්සව විශේෂාංගවලින් බැහැරව මෙවර ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා මහා භාණ්ඩාගාරය මුදල් අනුමත කර තිබේ. මුදල් අමාත්‍යාංශය මෑතකදී රටේ වියදම් සීමා පනවමින් හඳුන්වා දුන් චක්‍රලේඛයකට අනුව අත්‍යවශ්‍ය නොවන වියදම් සීමා කිරීම හෝ අත්හිටුවීමට නියෝග ලබාදී තිබේ. එවැනි තත්ත්වයන් තුළ ‘XLVII වැනි ජාතික ක්‍රීඩා’ සාර්ථක කර ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය රුපියල් මිලියන 100 ක් අනුමත කිරීම අගය කළ යුත්තක් බව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

වසර දෙකක්ම පිට පිටම (2020-21) පැවැත්වීමට නොහැකි වූ ජාතික මහ ක්‍රීඩා උළෙල අවසන් වරට 2019 දී පැවැත්වීමේදී රුපියල් මිලියන 200 කට වැඩි පිරිවැයක් දරා තිබේ. එහිදී සමාරම්භක හා සමාප්ත උත්සව සඳහා පමණක් රුපියල් මිලියන 15 ක පමණ වැයක් දරා තිබේ. කෙසේ වුවත් මෙවර උත්සව විශේෂාංගවලින් බැහැරව ක්‍රීඩා උළෙල පැවැත්වීමේදී වියදම් සීමා කෙරෙන නමුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්ෂතා සඳහා පදක්කම්, සහතික පත්‍ර හා මුදල් ත්‍යාග යොදාගත් පරිදිම ප්‍රදානය කිරීමටද කටයුතු කෙරේ.

පාසල් සිසු සිසුවියන්, තරුණ සේවා, හමුදා නර්තන හා සංස්කෘතික කණ්ඩායම් පමණක් ක්‍රීඩා උළෙලේ සීමිත විශේෂාංග අවස්ථා සඳහා සහභාගි කර ගැනීමට එහිදී තීරණය වී තිබේ. ඒ අතරම ක්‍රීඩා උළෙලේ වියදම් සීමා කර ගැනීමට ගත් තවත් පියවරක් ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය භාරයේ පවතින කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණය, පොළොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්ණය හා මාතර ක්‍රීඩා සංකීර්ණයේදී පමණක් තරග ඉසව් පැවැත්වීමට කටයුතු කෙරේ.

වසර 2022 ක්‍රීඩා උළෙලේ ඇවිදීම – මැරතන් හා පාපැදි තරග ඉසව් මේ වනවිට පවත්වා අවසන් කර තිබේ.

අවසන් වරට වසර 2019 ට නියමිතව තිබූ 45 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙල බදුල්ල වින්සන්ට් ඩයස් පිටියේදී එම වසරේ ඔක්තෝබර් 25-26-27 යන දිනවල පැවැත්විණි. ජාතික මහ ක්‍රීඩා උළෙල 2019 දී පැවැත්වීමේදී ඊට ක්‍රීඩා ඉසව් 30ක් ඇතුළත්වී තිබිණ. එහිදී බස්නාහිර පළාත රන් පදක්කම් 99 ක් දිනා සමස්ත ශූරතාව රැකගැනීමට සමත් විය.

වසර 2020 මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකාවේ පැතිර ගිය කොවිඩ් අර්බුදය සහ ආර්ථික කඩාවැටීම යන කරුණු හේතුවෙන් ක්‍රීඩා උළෙල වසර දෙකක්ම අත්හිටුවීමට සිදුවිය.

1972 දී ක්‍රීඩා උළෙල ආරම්භ වීමෙන් පසුව එහි අත්හිටුවීමක් වාර්තා වන්නේ 1987 වසරේදීය. ඒ අනුව වසර 2020 ට නියමිතව තිබූ ක්‍රීඩා උළෙල අත්හැර දමන්නේ වසර 35කට පසුව වීම කැපී පෙනෙන්නකි. 1983 දී ජාතිවාදී කෝලාහල හේතුවෙන් ක්‍රීඩා උළෙල පවත්වා නැත.


අදහස් (0)

2022 ජාතික මහ ක්‍රීඩා උළෙලට භාණ්ඩාගාරයෙන් කෝටි 10 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.