Last Update  :  2025-12-12 15:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ශ්‍රී ලංකාවේ නිලවරණයට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ උපදෙස් පතයි

ශ්‍රී ලංකාවේ නිලවරණයට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ උපදෙස් පතයි

editorial - 2025 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නාමල් පතිරගේ

ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුවේ ඉදිරි නිලවරණය කැඳවීම අරභයා පැන නැගී තිබෙන වත්මන් තත්වය පිළිබදව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් උපදෙස් පතන බව ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා පවසයි.

දෙසැම්බර් 28 වැනිදා එහි වත්මන් නිල කාලය (2021 - 24) අවසන් වන අතර ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ආසන්නයේදීම එහි වත්මන් විධායක සභාව දෙවරක් රැස්වී තිබේ. එයින් එකක් හදිසි විධායක සභා රැස්වීමක් ලෙස කැඳවා තිබුණි.  පසුගිය අඟහරුවාදා (9) වැඩ බලන සභාපතිනී නිලූ ජයතිලක මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ කමිටුවේ මාසික විධායක සභා රැස්වීමේදී ඒකමතිකව යෝජනාවී ඇත්තේ දෙසැම්බර් 28 න් පසුව සිය නිල කාලය අවසන් වන බැවින් එළඹෙන නිලවරණය (2025 - 29) කැඳවීම සදහා සුදුසු ක්‍රියාමාර්ග වලට එළඹිය යුතු බවය.

සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා මේ දිනවල විදේශගතව වෛද්‍ය ප්‍රතිකාර ගන්නා බැවින් එම විධායක සභා රැස්වීම් වල මුලසුන හොබවා ඇත්තේ නිලූ ජයතිලක මහත්මියයි. කෙසේවූවත් එහිදී සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා සිය විධායක සභාවට දැනුම්දී ඇත්තේ ඒ සම්බන්ධයෙන් තමන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවෙන් උපදෙස් ලබා ගන්නා තෙක් තීරණ වලට නොඑළඹෙන ලෙසයි.

මේ අතර දෙසැම්බර් 28 වැනිදාට නිලවරණය සමග යෙදෙන කමිටුවේ මහ සභා රැස්වීම පමණක් පැවැත්වීමට කටයුතු කරන්නේ දැයි ‘ලංකාදීප’ය කළ විමසුමකදී සුබ්‍රමනියම් මහතා පැවැසුවේ එය එදිනට කැදවීම සදහා සම්පූර්ණ කළ යුතු කාරණා ඉටුවී නොමැති නම් එදින එය කැඳවීම ප්‍රායෝගික නොවන බවයි. විශේෂයෙන්ම එම මහ සභා රැස්වීමේදී අනුමත කර ගත යුතු පසුගිය වසරේ (2024-25) ගිණුම් වාර්තාව මෙතෙක් සකස් කර අවසන්ව නැතැයිද ඔහු පැවැසීය.

ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පසුගිය ජනවාරී මාසයේදී ශ්‍රී ලංකාවට යොමු කළ ලිපියක දැක්වුණේ මෙරට ජාතික ඔලිම්පික් කමිටුව සම්බන්ධයෙන් ගනු ලබන තීරණ සභාපතිවරයාගේ නිර්දේශයෙන් ක්‍රියාත්මක විය යුතු බවයි. ශ්‍රී ලංකාවේ  ඔලිම්පික් කමිටුවේ මීළග නිලවරණය සම්බන්ධයෙන් එහි ප්‍රති පාර්ශවයක් විසින් මැදිහත්වීමක් කරන ලෙස ඉල්ලා යොමු ක‍ළ ලිපියකට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ප්‍රතිචාර දක්වා තිබුණේ එලෙසය.

2021දෙසැම්බර් 28 වැනිදා ජාතික ඔලිම්පික් කමිටුවේ අවසන් වරට පැවැති නිලවරණයේදී (2021 - 25) ජාතික ක්‍රීඩා සංගම් 31ක් ඡන්දය ප්‍රකාශ කිරීමට නිර්දේශ ලැබීය.

එහි නිල වෙබ් අඩවියේ දක්වා තිබෙන පරිදි මේ වන විට කමිටුවේ පූර්ණ සාමාජික ජාතික ක්‍රීඩා සංගම් ගණන 31කි. නීරීක්ෂක  සාමාජික ජාතික ක්‍රීඩා සංගම් හතක්ද එහි දක්වා තිබේ.

කෙසේවූවත් පරිපාලන අර්බුද හමුවේ අතුරු කමිටු ලෙස ක්‍රියාත්මක කෙරෙන හා දැනට ක්‍රීඩා අමාත්‍යාංශය භාරයට ගෙන තිබෙන්නේ  ජාතික ක්‍රීඩා සංගම් එම ගැටුම් අවසන් කර සම්මේලන යළි ස්ථාපිත කර ගන්නා තුරු ඔවුන්ට නිලවරණයේදී ඡන්ද බලය ප්‍රදානය නොකෙරෙන බව සුබ්‍රමනියම් මහතා පවසයි. ඒ අතර  වසර 2028 - ලොස් ඇන්ජලීස් නුවරදී රටවල් 12 ක සහභාගිත්වයෙන් පැවැත්වෙන 34 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල සදහා ක්‍රිකට් (විස්සයි - 20) ඉසව්ව කාන්තා හා පිරිමි දෙඅංශයෙන්ම හදුන්වාදී තිබේ.

ඒ හේතුවෙන් මෙරට ජාතික ඔලිම්පික් කමිටුවේ මීළග නිලවරණය අරභයා එහි සාමාජිකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ප්‍රදානය වනු ඇත. 1990 - පැරිස් නුවර පැවැති දෙවැනි ඔලිම්පික් උළෙලෙන් පසුව ඔලිම්පික් උළෙලකට ක්‍රීඩා ඉසව්වක් ලෙස ක්‍රිකට් ඇතුළු කරන පළමු අවස්ථාව මෙයයි.


අදහස් (0)

ශ්‍රී ලංකාවේ නිලවරණයට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ උපදෙස් පතයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.